ඕස්ට්‍රේලියාවේ පිහිටි ගොවිපළ සත්ත්වයන් මුදවා ගැනීමේ සංවිධානයක ස්වේච්ඡා සේවකයන් අපිරිසිදු වූ එකට ගැට ගැසුණු ලොම් සහිත රාත්තල් හැත්තෑපහකට වඩා බරින් යුත් ඉබාගාතේ යන බැටළුවෙකු සොයා ගන්නා ලදී. මුදවා ගැනීමේ සේවකයන් සිතුවේ බැටළුවා අවම වශයෙන් වසර පහක් තිස්සේ අමතක කර අතහැරදමා සිටිය බවටයි. උගේ බර ලොම් ඉවත් කිරීමේ අපහසු ක්‍රියාවලිය හරහා ස්වේච්ඡා සේවකයන් ඌව සැනසූහ. උගේ බරින් නිදහස් වූ පසු “බැරැක්” නමින් හැඳින්වූ මෙම බැටළුවා කෑම කෑවේය. උගේ කකුල් ශක්තිමත් විය. ඌ, තමා බේරාගත් අය සහ අභයභූමියේ අනෙකුත් සතුන් සමඟ කාලය ගත කරන විට ඌට වැඩි විශ්වාසයක් හා තෘප්තිමත් බවක් ඇති විය.

දැඩි බරකින්ද අමතක වී සහ තනිවී සිටීමේ වේදනාවද තේරුම් ගත් ගීතිකාකරුට මුදවා ගැනීමේ මෙහෙයුමක් අත්‍යවශ්‍ය විය. ගීතාවලිය 38 හි දාවිත් දෙවියන්වහන්සේට මොරගැසුවේය. ඔහු හුදකලාව, පාවාදීම සහ අසරණ භාවය අත්විඳ තිබුණි (11-14 පද). එසේ වූවත්, ඔහු විශ්වාසයෙන් යුතුව මෙසේ යාච්ඤා කළේය: ඒ “ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක” යනුවෙනි (15 පදය). දාවිත් ඔහුගේ දුෂ්කරතාවය ප්‍රතික්ෂේප කළේවත් ඔහුගේ අභ්‍යන්තර කැලඹීම් සහ ශාරීරික රෝග අවම කර ගත්තේවත් නැත (16-20 පද). ඒ වෙනුවට, දෙවියන්වහන්සේ ඔහුට ළංව සිටින බවත් නියම වේලාවට සහ නියම ආකාරයෙන් ඔහුට පිළිතුරු දෙන බවත් ඔහු විශ්වාස කළේය (21-22 පදය).

අප කායික, මානසික හෝ චිත්තවේගීය බරින් වැටී සිටින බව දැනෙන විට පවා, දෙවියන්වහන්සේ අපව මැවූ දින සිට, උන්වහන්සේ සැලසුම් කළ, ගළවා ගැනීමේ මෙහෙයුම සඳහා උන්වහන්සේ කැපවී සිටින සේක. “මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව” (22 පදය) යනුවෙන් අප උන්වහන්සේට මොරගසන විට උන්වහන්සේගේ අභිමුඛය ගැන අපට විශ්වාසය තැබිය හැක.