දශක හයකට වැඩි කාලයක් පුරා ප්‍රවෘත්ති මාධ්‍යවේදී පෝල් හාවි මහතා ඇමරිකානු ගුවන් විදුලියේ හුරුපුරුදු කටහඬක් විය. ඔහු අලංකාර වාක්‍ය ඛණ්ඩයකින් මෙසේ පවසයි, “ඔබ දන්නවා ප්‍රවෘත්තිය කුමක්ද කියා, තව විනාඩියකින් ඔබට කතාවේ ඉතිරි කොටස ඇසෙනු ඇත.” කෙටි දැන්වීමකින් පසු ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ එතරම් නොදන්නා කතාවක් ඔහු පවසයි. නමුත් එම පුද්ගලයාගේ නම හෝ වෙනත් ප්‍රධාන අංගයක් අවසානය දක්වා එළි නොකොට, ඔහු තමන්ගේ නාට්‍යානුසාර සහ සිත්ගන්නා වාක්‍යය වන “දැන් ඔබ දන්නවා . . . කතාවේ ඉතිරිය” යනුවෙන් කියමින් සවන් දෙන්නන්ව සතුටු කළේය.

අපෝස්තලු යොහාන්ගේ අතීත සහ අනාගත දේවල් පිළිබඳ දර්ශනය ඒ හා සමාන පොරොන්දුවක් සමඟ දිග හැරේ. කෙසේ වෙතත්, ඔහුගේ කතාව ආරම්භ වන්නේ දුක්බර සටහනකිනි. ඉතිහාසය ගමන් කරන්නේ කොතැනටද, යන්න පැහැදිලි කිරීමට ස්වර්ගයේ හෝ පෘථිවියේ කිසිම මැවිල්ලකට නොහැකි බව දුටු විට ඔහුට හැඬීම නවත්වා ගත නොහැකි විය (එළිදරව් 4:1; 5:1-4). එවිට ”යූදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයා” (5 පදය) තුළින් බලාපොරොත්තුවක් ඉදිරිපත් කරන හඬක් ඔහුට ඇසිණි. නමුත් යොහන් බැලූ විට, ජය ගන්නා සිංහයෙකු වෙනුවට ඔහු දුටුවේ මරනු ලැබුවාක් මෙන් වූ බැටළු පැටවෙකුය (5-6 පද). මෙම අසාමාන්‍ය දර්ශනය දෙවියන්වහන්සේගේ සිංහාසනය වටා සැමරුම් රැල්ලක් ඇති කළේය. වැඩිමහල්ලන් විසිහතර දෙනෙකු සමඟ ගණන් කළ නොහැකි දේවදූතයන්ගෙන්ද ඉන්පසුව මුළු ස්වර්ගයත් සහ මුළු පොළොවත් එකතු වී ගායනා කණ්ඩායම් තුනක් සාදමින් දෙවියන්වහන්සේට නමස්කාර කළෝය (8-14 පද).

කුරුසියේ ඇණ ගසන ලද ගැළවුම්කරුවෙකු – සියලු මැවිල්ලේ බලාපොරොත්තුවත්, අපගේ දෙවියන්වහන්සේගේ මහිමයත්, එසේම අපගේ කතාවේ ඉතිරි කොටසත් වනු ඇතැයි සිතිය හැක්කේ කාටද?