“සහෝදර ටිම්, ඔබට පෙනෙනවාද?” ඝානාවේ දේවගැතිවරයෙකු ලෙස සේවය කළ, මගේ මිතුරා, කටුමැටි පැල්පතකට හේත්තු කර තබා තිබු කැටයම් වස්තුවක් මත ඔහුගේ විදුලි පන්දමේ එළිය දැල්වීය. ඔහු මට රහසින් පැවසුවේ “ඒ තමයි ගමේ පිළිමය” කියාය. සෑම අඟහරුවාදා සැන්දෑවකම දේවගැති සෑම් මෙම ඈත ගම්මානයේ දේව වචනය බෙදාගැනීම සඳහා ලඳු කැලෑවට ගියේය.

එසකියෙල් පොතේ, රූප වන්දනාව, යූදාහි ජනයා පීඩාවට පත් කළ ආකාරය අපට පෙනේ. යෙරුසලමේ නායකයන් අනාගතවක්තෘ එසකියෙල් බැලීමට පැමිණි විට, දෙවියන්වහන්සේ එසකියෙල්ට පැවසුවේ, “මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන” ඇත කියාය (14:3). දෙවියන්වහන්සේ ඔවුන්ට අවවාද කළේ ලී සහ ගල් කැටයම් කළ පිළිම ගැන පමණක් නොවේ. රූප වන්දනාව හදවතේ ගැටලුවක් බව දෙවියන්වහන්සේ ඔවුන්ට පෙන්වමින් සිටිසේක. අපි හැමෝම රූප වන්දනාව සමඟ අරගල කරන්නෙමු.

බයිබල් ගුරුවරයෙක් වන ඇලිස්ට්යාර් බෙග් පිළිමයක් විස්තර කරන්නේ “අපගේ සාමයට, අපගේ ආත්ම ප්‍රතිරූපයට, අපගේ තෘප්තියට හෝ අපගේ පිළිගැනීමට දෙවියන්වහන්සේ හැර, අත්‍යවශ්‍ය යැයි අප සලකන වෙනත් දෙයක්” ලෙසටයි. උතුම් යැයි පෙනෙන දේවල් පවා අපට පිළිම බවට පත්විය හැකිය. ජීවමාන දෙවියන්වහන්සේ හැර වෙනත් ඕනෑම දෙයකින් අප සැනසීම හෝ ආත්ම-වටිනාකම හෝ සොයන විට, අපි රූප වන්දනාව කරන්නෙමු.

“පසුතැවිලි වන්න!” යැයි දෙවියන්වහන්සේ කී සේක. “නුඹලාගේ දේවරූප කෙරෙන් සිත හරවා, නුඹලාගේ සියලු පිළිකුල්කම්වලින් නුඹලාගේ මුහුණු හරවාගන්න!” (6 පදය). ඊශ්‍රායලයට මෙය කළ නොහැකි බව ඔප්පු විය. දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වන්න, උන්වහන්සේට විසඳුමක් තිබුණු සේක. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සහ ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය බලාපොරොත්තුවෙන් සිටි අයට උන්වහන්සේ, “මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ” තබන්නෙමි යැයි කීසේක (36:26). අපට මෙය තනියම කළ නොහැක්කකි.