“ඔවුන් කියන දේ මම දන්නවා. ඒ වුනත් මම ඔයාට කියන්නේ..” යනුවෙන් නව යොවුන් වියේදී මගේ මව දහස් වාරයක් මට කියා තිබේ. එයට හේතුවූයේ සැමවිටම සම වයසේ මිතුරන් අතරේ තිබෙන පීඩනය ගැන විය. රංචුව පසුපස නොයන ලෙස මට ඉගැන්වීමට ඇය උත්සාහ කළාය. මම තවදුරටත් යොවුන් වියේ නොවුනත්, රංචු මානසිකත්වය තවමත් මා තුළ ක්‍රියාශීලීව තිබේ. වර්තමාන උදාහරණයකි මෙම කියමන: “ධනාත්මක පුද්ගලයින් සමඟ පමණක් සම්බන්ධතා ඇති කර ගන්න.” දැන් එම කියමන සාමාන්‍යයෙන් ඇසෙන නමුත්, අප ඇසිය යුතු ප්‍රශ්නය නම්: “එය ක්‍රිස්තුස්වහන්සේ වැනි ජීවිතයක්ද?” යන්නයි.

“එහෙත් මම නුඹලාට කියන්නේ. . .” යනුවෙන් යේසුස්වහන්සේ කිහිප වතාවක්ම එම මඟ පෙන්වීමේ වචන මතෙව් 5 හි භාවිතා කරන සේක. ලෝකය නිරන්තරයෙන් අපට පවසන දේ උන්වහන්සේ හොඳින් දන්නා සේක. නමුත් උන්වහන්සේගේ ආශාව වන්නේ අප වෙනස් ලෙස ජීවත් වීමයි. මෙම අවස්ථාවේ දී, උන්වහන්සේ පවසන්නේ, “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න” යැයි කියාය (44 පදය). පසුව නව ගිවිසුමේ, පාවුල් අපෝස්තුළු වරයා එම වචනයම භාවිතා කරන්නේ කවුරුන් ගැන විස්තර කිරීමටද කියා සිතන්න? පිළිතුර නිවැරදියි, එය අපි ගැනයි – එනම්, “අපි දෙවියන්වහන්සේගේ සතුරන්ව සිටියදීම” යන්නයි (රෝම 5:10). සමහර අය පවසන පරිදී “මා කරන ආකාරයට නොව මා කියන ආකාරයට කරන්න” වෙනුවට යේසුස්වහන්සේ ක්‍රියාවෙන් උන්වහන්සේගේ වචනවලට අනුබල දුන් සේක. උන්වහන්සේ අපට ප්‍රේම කළ අතර අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කළ සේක.

ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය තුළ “ධනාත්මක මිනිසුන්” සඳහා පමණක් ඉඩ ලබා දුන්නේ නම් කුමක් වෙන්න ඇත් ද? අපව කොතැනකට ගෙන යන්න ඇත් ද? උන්වහන්සේගේ ප්‍රේමය යම් යම් පුද්ගලයන්ට පමණක් සීමා නොවන නිසා දෙවියන්වහන්සේට ස්තුති වේවා! මක්නිසාද දෙවියන්වහන්සේ ලෝකයාට එතරම් ප්‍රේම කළසේක, එසේම, උන්වහන්සේගේ ශක්තියෙන් අපට ද එසේ කිරීමට කැඳවනු ලබයි.