කවියෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ මුද්‍රණකරුවෙක් වන විලියම් බ්ලේක් ඔහුගේ බිරිඳ කැතරින් සමඟ අවුරුදු හතළිස් පහක විවාහයක් භුක්ති වින්දේය. ඔවුන්ගේ විවාහ දිනයේ සිට 1827 දී ඔහු මිය යන තුරුම ඔවුන් දෙදෙනා එකට වැඩ කළහ. කැතරින් විලියම්ගේ සිතුවම්වලට වර්ණ එකතු කළ අතර වසර ගණනාවක් දිළිඳුකම සහ වෙනත් අභියෝගවලට මුහුණ දෙමින් සිටියත් ඔවුන් අතර තිබු අති මහත් ආදරය නොසැලී තිබුණි. ඔහුගේ සෞඛ්‍යය පිරිහුණු අවසාන සතිවලදී පවා, බ්ලේක් ඔහුගේ චිත්‍ර කලාවෙහි නිරත වූ අතර, ඔහුගේ අවසන් සිතුවම ඔහුගේ බිරිඳගේ මුහුණ විය. අවුරුදු හතරකට පසු, කැතරින් මිය ගියේ ඇගේ සැමියාගේ පැන්සලක් අතේ තබා ගෙනය.

බ්ලේක් යුවල අතර තිබු විචිත්‍රවත් ආදරය සාලමොන්ගේ ගීතිකාවේ පෙන්නුම් කරන ආදරයේ පිළිබිඹුවක් ඉදිරිපත් කරයි. ආදරය පිළිබඳ ගීතයේ විස්තරය නිසැකවම විවාහය සඳහා ඇගවීමක් ඇති අතර, යේසුස්වහන්සේගේ මුල් ඇදහිලිවන්තයන් විශ්වාස කළේ එය යේසුස්වහන්සේගේ සියලු අනුගාමිකයන් කෙරෙහි දක්වන නොසැලෙන ප්‍රේමය කියාය. සාලමොන්ගේ ගීතිකාව, ප්‍රේමය “මරණය මෙන් බලවත් ය” කියා විස්තර කරයි, මෙය විශිෂ්ට රූපකයකි, එයට හේතුව, මරණය යනු අවසානයේදී සිදුවෙන දෙයක් හා ගැළවිය නොහැකි දෙයක් බව මිනිසුන් දන්නා යථාර්ථයක් නිසාය (8:6). මෙම බලවත් ප්‍රේමයේ “දැල්ල ගිනිදැල්ලය, ඇවිළෙන ගිනි දැල්ලක්ම” වන අතර (6 පදය) අපට හුරුපුරුදු ගිනි මෙන් නොව, මෙම ගිනිදැල් මහා ජල ගැල්මකින් පවා නිවා දැමිය නොහැක. “බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය” යනුවෙන් ගීතය අවධාරනය කරයි (7 පදය).

අප අතරින් සැබෑ ප්‍රේමයට අකමැති කවුද? අපට අව්‍යාජ ප්‍රේමයක් මුණගැසෙන සෑම අවස්ථාවකම දෙවියන්වහන්සේ අවසාන මූලාශ්‍රය බව ගීතය අපට මතක් කර දෙයි. යේසුස්වහන්සේ තුළ, අප සෑම කෙනෙකුටම ගැඹුරු හා නොමැකෙන ප්‍රේමයක් දැනගත හැකිය — එය ඇවිළෙන ගින්නක් මෙන් දැවෙයි.