මෑත කාලීන පෝස්ට් එකක නොහොත් අන්තර්ජාලයේ / වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, බොනී ග්‍රේ නම් බ්ලොග්කරු (නොහොත් වෙබ් අඩවියකට ලියන තැනැත්තා) ඇගේ හදවතට අධික දුකක් ‘ඇතුළුවීමට‘ පටන් ගත් මොහොත සිහිපත් කළාය. “මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම පරිච්ඡේදයේදී, . . . මම හදිසියේම භීතිකා ප්‍රහාර සහ මානසික අවපීඩනය අත්විඳීමට පටන් ගතිමි”. ග්‍රේ ඇගේ වේදනාව විසඳීමට විවිධ ක්‍රම සෙවීමට උත්සාහ කළ නමුත් එය තනිවම හැසිරවීමට තරම් ඇය ශක්තිමත් නොවන බව ඇයට ඉක්මනින් වැටහුණි. “මගේ ඇදහිල්ල ගැන කිසිවෙකු ප්‍රශ්න කිරීම මට අවශ්‍ය නොවීය, එබැවින් මම නිහඬව සිටි අතර මගේ මානසික අවපීඩනය පහව යන ලෙස යාච්ඤා කළෙමි. නමුත් දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපව සුව කිරීමට මිස අපව ලැජ්ජාවට පත් කිරීමට හෝ අප වේදනාවෙන් සැඟවීම හෝ නොවේ”. බොනී ග්‍රේ උන්වහන්සේගේ අභිමුඛය තුළින් සුවය සොයා ගත්තාය; ඇයව යටපත් කිරීමට තර්ජනය කළ රළ මැද උන්වහන්සේ ඇගේ නැංගුරම විය.

අපි පහත් තැනක සිටින විට සහ බලාපොරොත්තු සුන්වීමෙන් පිරී සිටින අවස්ථාවේදී, දෙවියන්වහන්සේ එහි සිටිමින්, අපව නඩත්තු කරනසේක. සතුරන්ගේ අතින් පරාජයට පත්වීමට ආසන්නව සිටියදී තමා සිටි පහත් ස්ථානයේ සිට දෙවියන්වහන්සේ ඔහුව මුදවාගත් හෙයින්, දාවිත් ගීතාවලිය 18 හි, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේය. “උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජල ධාරාවලින් මා ඇදගත් සේක” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය (16 පදය). සාගරයක රළ පහරකට හසු වුණාක් මෙන්, බලාපොරොත්තු සුන් වී, අපව ගිලෙන්නට යන බව පෙණුනත්, දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද කිවහොත්, උන්වහන්සේ අපට උදව් කිරීම පිණිස අප වෙත ළඟා වී, උන්වහන්සේගේ දෑත් දිගු කරමින් සාමය සහ ආරක්ෂාව ඇති “විශාල ස්ථානයකට” අපව ගෙන එන සේක (19 පදය). ජීවිතයේ අභියෝගවලින් පීඩාවට පත්වන විට අපගේ රැකවරණය ලෙස උන්වහන්සේ දෙස බලමු.