මගේ මිතුරෙකු වන රුවෙල්, පාසල් මිතුරෙකුගේ නිවසේ පැවති “පාසලේ උසස් පෙළ පන්තියේ මිතුරන්ගේ නැවත හමුවීමේ සාදයකට” සහභාගී විය. මැනිලා බොක්ක අසල පිහිටි, දෙසිය දෙනෙකුට සහභාගි විය හැකි ඉතා අලංකාර උත්සව ශාලාවකින් සමන්විත වූ මෙම නිවස හඳුන්වනු ලැබුවේ “ද වෝටර් ෆ්රන්ට් මැන්ෂන්” යනුවෙනි. මෙය රුවෙල්ගේ සිත තුළ “අඩු බවක්” ඇති කළේය.

“දුරස්ථ ග්‍රාමීය දේවස්ථානවල දේවසේවයේ යෙදී මම බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක් ගත කළෙමි” කියා රුවෙල් මට පසුව කීවේය. තව දුරටත් ඔහු පැවසුවේ , “මම එසේ නොකළ යුතු බව මා දැන සිටියත්, මගේ පන්තියේ මිතුරාගේ ද්‍රව්‍යමය ධනය ගැන ඊර්ෂ්‍යා කිරීමෙන් වැලකී සිටින්නට මට නොහැකි විය. මම මගේ උපාධිය, ව්‍යාපාරිකයෙකු වීමට භාවිතා කළේ නම් ජීවිතය කෙතරම් වෙනස් විය හැකිදැයි මගේ සිතුවිලි මංමුළා වන්නට විය” කියා ඔහු තවදුරටත් කියා සිටියේය.

“ඒත් ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැතැයි කියා මම පසුව මටම මතක් කරගත්තෙමි.” රුවෙල් සිනහ මුසු මුහුණකින් තව දුරටත් කියා සිටියේය. “මම මගේ ජීවිතය කැප කළේ දෙවියන්වහන්සේට සේවය කිරීමටයි, එහි ප්‍රතිඵල සදාකාලයටම පවතිනු ඇත.” ඔහු එම වචන පවසන විට ඔහුගේ මුහුණේ තිබූ සාමකාමී පෙනුම මම හැම විටම මතක තබා ගන්නෙමි.

මතෙව් 13:44−46 හි යේසුස්වහන්සේගේ උපමාවලින් රුවෙල්ට සාමය ලැබුණි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය පරම නිධානය බව ඔහු දැන සිටියේය. උන්වහන්සේගේ රාජ්‍යය සොයමින් සහ එය වෙනුවෙන් ජීවත් වීම විවිධ ආකාරවලින් ලබා ගත හැකිය. සමහර අයට පූර්ණ කාලීන දේවසේවය විය හැකිය, අන් අයට තමන් සේවය කරන ස්ථානයේ හෝ තමාගේම ව්‍යාපාරයක් කරමින් ශුභාරංචියේ ප්‍රතිපත්ති අනුව වැඩකටයුතු කිරීමෙන් දේව සේවය කළ හැකිය. අපව භාවිතා කිරීම පිණිස දෙවියන්වහන්සේ තෝරා ගන්නා ආකාරය කුමක් වුවත්, උන්වහන්සේව නොකඩවාම විශ්වාස කිරීමෙන් සහ මඟ පෙන්වීම ඇතුව, යේසුස්වහන්සේගේ උපමාවල මිනිසුන් මෙන්, අපට ලබා දී තිබෙන නොදිරන නිධානයේ වටිනාකම දැන ගෙන අපට සේවය කළ හැකිය. දෙවියන්වහන්සේ අනුගමනය කිරීමෙන් අප ලබන දෙයට, මේ ලෝකයේ සෑම දෙයකටම වඩා අසීමිත වටිනාකමක් ඇත (1 පේතෘස් 1:4-5).
අපගේ ජීවිතය උන්වහන්සේගේ දෑතේ තැබූ විට සදාකාලික ඵල ලබා ගත හැකිය.