විවාහ වී අවුරුදු අසූවක් ! මගේ සැමියාගේ ලොකු මාමා වන පීට් සහ ලොකු නැන්දා වන රූත්, 2021 මැයි 31 දින මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරුවෝය. 1941 දී රූත් උසස් පෙළ පන්තියේ සිටියදී අහම්බෙන් වූ හමුවීමකින් පසු, තරුණ යුවළ විවාහ වීමට කෙතරම් ආශාවෙන් සිටියේද කියතොත්, රූත් උපාධිය ලබා ගත් දිනට පසු දින ඔවුන් දෙදෙනා රහසින් පැන ගියහ. දෙවියන්වහන්සේ ඔවුන්ව එකතු කළ බවත්, මේ වසර ගණනාව පුරා ඔවුන්ට මඟ පෙන්වූ බවත් පීට් සහ රූත් විශ්වාස කරති.

විවාහයෙන් දශක අටක කාලය පිළිබිඹු කරමින්, පීට් සහ රූත් දෙදෙනාම එකඟ වන්නේ ඔවුන්ගේ සම්බන්ධතාවය පවත්වා ගැනීමට එක් ප්‍රධාන කරුණක් වූයේ සමාව දීමට තෝරා ගැනීමේ තීරණය බවයි. අපගේ අකාරුණික වචනයකින් හෝ පොරොන්දුවක් කඩකිරීමෙන් හෝ අමතක වූ කාර්යයක් හෝ හේතුවෙන් අපි එකිනෙකා රිදවන ආකාරය සඳහා අප සැමට නිතිපතා සමාව අවශ්‍ය බව නිරෝගී සම්බන්ධතාවයක සිටින ඕනෑම කෙනෙක් තේරුම් ගනිති.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට සමගියෙන් ජීවත් වීමට උපකාර කිරීම සඳහා ලියා ඇති ශුද්ධ ලියවිල්ලේ කොටසක, පාවුල් සඳහන් කරන්නේ සමාව දීමේ අත්‍යවශ්‍ය කාර්යභාරය ගැනයි. “දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද” තෝරා ගැනීමට ඔහු පාඨකයන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුව (කොලොස්සි 3:12), “යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමා වෙන්න” (13 පදය) යන දිරිගැන්වීමද එකතු කරයි. වැදගත්ම කරුණ නම්, ඔවුන් එකිනෙකා සමඟ කරන සියලු අන්තර්ක්‍රියා ප්‍රේමයෙන් මඟ පෙන්විය යුතු වීමයි (14 පදය).

පාවුල් විසින් දක්වා ඇති ලක්ෂණ ආදර්ශයට ගන්නා සම්බන්ධතා ආශීර්වාදයකි. ප්‍රේමය සහ සමාවදීම මගින් යහපත් සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා වැඩ කිරීමට දෙවියන්වහන්සේ අප සැමට උපකාර කරන සේක්වා.