ගෝලීය සෞඛ්‍ය අර්බුදයට මැදිවූ හෙදියක් ලෙස තමා මුහුණ දුන් බලාපොරොත්තු සුන්වීමේ හැඟීම ගැන කතා කරන විට මගේ මිතුරිය ඇගේ කඳුළු අතරින් පැවසුවේ “මට තවදුරටත් මෙය නොකළ හැකි යැයි මම සිතමි. දෙවියන්වහන්සේ මා හෙද සේවයට කැඳවා ඇති නමුත්, රාජකාරිය අධික නිසා මම යටපත් වී හා චිත්තවේගීව වියැකී සිටිමි,” කියා ඇය සිතේ බරකින් පැවසුවාය. තෙහෙට්ටුවේ වලාකුළක් ඇය මතට පැමිණ ඇති බව දුටු මා “ඔබට දැන් අසරණ බවක් දැනෙන බව මම දනිමි, නමුත් ඔබ සොයන මඟ පෙන්වීම සහ නොපසුබට උත්සාහය සඳහා ශක්තිය ලබා දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න” කියමින් ඇයට ප්‍රතිචාර දැක්වූයෙමි. ඒ මොහොතේ, ඇය හිතාමතාම යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සෙවීමට තීරණය කළාය. වැඩි කල් යන්නට මත්තෙන්, මගේ මිතුරිය නව අරමුණක් සමඟ ප්‍රබෝධමත් විය. දිගටම හෙදියක් ලෙස සේවය කිරීමට ඇය ධෛර්යමත් වූවා පමණක් නොව, රට පුරා රෝහල්වලට ගොස් තවත් ලෙඩුන්ට සේවය කිරීමටද දෙවියන්වහන්සේ ඇයට ශක්තිය ලබා දුන් සේක.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන්, අපට බරක් දැනෙන සැම විටම උපකාර සහ දිරිගැන්වීම සඳහා අපට උන්වහන්සේ දෙස බැලිය හැක්කේ “උන්වහන්සේ ක්ලාන්ත හා වෙහෙසට පත් නොවන නිසා” වෙනි (යෙසායා 40:28). අනාගතවක්තෘ යෙසායා පවසන්නේ ස්වර්ගයේ සිටින අපගේ පියාණන් “ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන සේක; බලය නැත්තාට සවිය වැඩි කරන සේක” යනුවෙනි (29 පදය). දෙවියන්වහන්සේගේ ශක්තිය සදාකාලික වුවද, අප කායිකව හා චිත්තවේගීව වැටෙන දවස් අනිවාර්යයෙන්ම අපට ඇති බව උන්වහන්සේ දන්නා සේක (30 පදය). නමුත් ජීවිතයේ අභියෝග ජය ගැනීමට තනිවම උත්සාහ කරනවා වෙනුවට අපගේ ශක්තිය සඳහා දෙවියන්වහන්සේ දෙස බලන විට, උන්වහන්සේ අපව යථා තත්වයට පත් කර අලුත් කර ඇදහිල්ලෙන් ඉදිරියට යාමට අධිෂ්ඨානය ලබා දෙනු ඇත.