1919 ජනවාරි 15 වන දින බොස්ටන්හි දැවැන්ත උක් පැණි ටැංකියක් පුපුරා ගියේය. අඩි පහළොවක් උස උක් පැණි ගැලුම් මිලියන දෙකකට වඩා, රැල්ලක් මෙන් පැයට සැතපුම් 30 කට වැඩි වේගයකින් වීදිය හරහා ගලා ගියේ රේල් කාර්, ගොඩනැගිලි, මිනිසුන් සහ සතුන් විනාශ කරමිනි. උක් පැණි එතරම් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එදින එය මාරාන්තික විය: එනම්, පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර 150 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

සමහර විට උක් පැණි වැනි හොඳ දේවල් පවා අනපේක්ෂිත ලෙස අපව යටපත් කළ හැකිය. දෙවියන්වහන්සේ විසින් ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ඇතුල් වීමට පෙර, මෝසෙස්, ජනයාට අනතුරු ඇඟවූයේ ඔවුන්ට ලැබෙන යහපත් දේවලට ඔවුන්ටම ගෞරවය ලබා නොගන්නා ලෙසටයි : “නුඹ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩ නගා එහි වාසය කරන කල්හිත්, නුඹේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් වැඩිවී, නුඹේ රන් රිදීද වැඩිවී, නුඹට ඇති සියල්ලම වර්ධනයවූ කල්හිත්, නුඹේ සිත උඩඟු නොවන හැටියටද,…..” කියා තදින් අවවාද කළේය. ඔවුන් මෙම ධනය ඔවුන්ගේ ශක්තියට හෝ හැකියාවන්ට ආරෝපණය නොකළ යුතු බවට තව දුරටත් කීවේය. ඒ වෙනුවට මෝසෙස් තව දුරටත් පැවසුවේ, “නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ සිහිකරන්න, …… නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය” යනුවෙනි (ද්විතීය කථාව 8:12-14 සහ 17-18).

ශාරීරික සෞඛ්‍යය සහ ජීවනෝපාය, උපයා ගැනීමට අවශ්‍ය කුසලතා ඇතුළු සියලු යහපත් දේ අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේගේ හස්තයෙන් ලැබෙන ආශීර්වාද වේ. අපි වෙහෙස මහන්සි වී වැඩ කළත්, අපව නඩත්තු කරන්නේ උන්වහන්සේය. අහෝ, අපගේ ආශීර්වාද විවෘත දෑතින් ලබා ගනිමින්, දෙවියන්වහන්සේ දෙන කරුණාව ගැන අපි කෘතඥපූර්වකව ප්‍රශංසා කරමු!