නමස්කාර කණ්ඩායම “මට සිතාගත හැකිය” යන ගීතිකාව වාදනය කිරීමට පටන් ගත් විට කාන්තාවකට පිටුපසින් මම දේවස්ථානයේ වාඩි වී සිටියෙමි. කාන්තාවගේ මිහිරි කටහඬ මගේ කටහඬත් සමඟ සමපාත වූ අතර මා දෑත් ඔසවමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෙමි. ඇයගේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන මට පැවසීමෙන් පසු, ඇයගේ ඉදිරි පිළිකා ප්‍රතිකාර අතරතුර අපි එකට යාච්ඤා කිරීමට තීරණය කළෙමු.

මාස කිහිපයකට පසු, ලුයිස් මට පැවසුවේ ඇය මිය යාමට බිය වන බවයි. ඇගේ රෝහල් ඇඳ මත නැඹුරු වී, ඇගේ හිස අසල මගේ හිස තබා, යාච්ඤාවක් කොඳුරා, පසුව සෙමින් අපේ ගීතය ගායනා කළෙමි. දින කිහිපයකට පසු, ලුයිස් යේසුස්වහන්සේට මුහුණට මුහුණලා නමස්කාර කරන විට, එය කොයි ආකාරද කියා මට සිතාගත හැකි විය.

අපෝස්තලු පාවුල් විසින් මරණයට මුහුණ දෙමින් සිටි තම පාඨකයන්ට සැනසිලිදායක සහතිකයක් මෙසේ ලබා දුන්නේය (2 කොරින්ති 5:1). මිහිපිට අත්විඳින දුක් වේදනා කෙඳිරිගෑමට හේතු විය හැක, නමුත් අපගේ බලාපොරොත්තුව අපගේ ස්වර්ගීය වාසස්ථානය වෙත නැංගුරම් ලා ඇත – එනම්, යේසුස්වහන්සේ සමඟ අපගේ සදාකාලික පැවැත්මයි (2-4 පද). දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ සමඟ සදාකාල ජීවනය සඳහා අපට ආශා කිරීමට සැලසුම් කළද (5-6 පද), උන්වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේ වෙනුවෙන් අප ජීවත් වන ආකාරය කෙරෙහි බලපෑම් ඇති කිරීමට සෑදී තිබේ (7-10 පද).

යේසුස්වහන්සේ නැවත පැමිණෙන තුරු හෝ ස්වර්ගයේ අපගේ නිවසට කැඳවන තුරු හෝ බලා සිටින අතරතුර උන්වහන්සේව සතුටු කිරීමට අප ජීවත් වන විට , උන්වහන්සේගේ නිරන්තර අභිමුඛය නිසා ඇතිවන සමාදානයෙන් අපට ප්‍රීති විය හැක. අප, අපගේ භූමික ශරීර අත්හැර සදාකාලයටම යේසුස්වහන්සේ හා එක් වූ මොහොතේ අප අත්විඳින්නේ කුමක්ද? අපට හැකි වන්නේ සිතා ගන්න පමණයි!