1969 ජූලි 20 වන දින නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් ඔවුන්ගේ යානයෙන් ඉවත් වී සඳ මතුපිට ඇවිද ගිය පළමු මිනිසුන් බවට පත් වූහ. නමුත් ඇපලෝ 11 සඳහා විධාන මොඩියුලයේ පියාසර කළ ඔවුන්ගේ කණ්ඩායමේ තුන්වන පුද්ගලයා වන මයිකල් කොලින්ස් ගැන අපි බොහෝ විට සිතන්නේ නැත.

ඔහුගේ සගයන් චන්ද්‍ර පෘෂ්ඨය පරීක්ෂා කිරීමට ඉණිමගෙන් බැස ගිය පසු, කොලින්ස් සඳෙහි ඈත පැත්තේ තනිවම බලා සිටියේය. ඔහුට නීල්, බස් සහ පෘථිවියේ සිටි සියල්ලන් සමඟ සම්බන්ධතාවයක් නොතිබුණේය. නාසා ආයතනයේ මෙහෙයුම් පාලක අදහස් දක්වමින් කියා සිටියේ, “උත්පත්තියේ සිටි ආදම් සහ මයික් කොලින්ස් හැර, හුදෙකලා බව ගැන දන්නා වෙන කිසිම මිනිසෙකු නොසිටියේය” යනුවෙනි.

අපට සම්පූර්ණයෙන්ම තනිකමක් දැනෙන අවස්ථා තිබේ. නිදසුනක් වශයෙන්, යාකොබ්ගේ පුත් යෝසෙප්ගේ සහෝදරයන් ඔහුව විකුණුවාට පසු, ඔහුව කානාන්හි සිට ඊජිප්තුවට ගෙන යන විටදී ඔහුට හැඟෙන්න ඇත්තේ කෙසේදැයි කල්පනා කර බලන්න (උත්පත්ති 37:23-28). පසුව බොරු චෝදනා මත සිරගත කිරීමෙන් ඔහු තවදුරටත් හුදකලා බවට තල්ලු කරන ලදී (39:19-20).

පවුලේ අයවලුන් අසළකවත් නැතිව විදේශ රටක සිරගෙදරදී යෝසෙප් බේරුණේ කෙසේද? මෙයට සවන් දෙන්න: “එහි ඔහු හිරගෙයි සිටියේය. එහෙත් ස්වාමින්වහන්සේ යෝසේප් සමඟ සිටි සේක” (20-21 පද). උත්පත්ති 39 හි මෙම සැනසිලිදායක සත්‍යය හතර වතාවක් අපට මතක් කර දෙයි.

ඔබට තනිකමක් හෝ අන් අයගෙන් ඈත්ව සිටින බවක් හෝ දැනෙන්නේද? යේසුස්වහන්සේ විසින්ම පොරොන්දු වූ දෙවියන්වහන්සේගේ අභිමුඛය අප සමඟය යන සත්‍යය මත රැඳී සිටින්න: “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කී සේක” (මතෙව් 28:20). ඔබගේ ගැළවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේ සිටියදී, ඔබ කිසිදා තනි නොවේ.