මම මගේ ජංගම දුරකථනය දෙස කෝපයෙන් බලා සුසුමක් හෙලුවෙමි. කනස්සල්ල නිසා කරදරකාරී බවෙන් මගේ නළල රැලි විය. අපේ දරුවන් අතර තිබූ ගැටලුවක් සම්බන්ධව මගේ මිතුරෙකු සහ මා අතර බරපතල මත භේදයක් ඇති විය. එහෙත්, මා ඇයට කතා කර සමාව ගත යුතු බව මම දැන සිටියෙමි. මට එය කිරීමට කැමැත්තක් නොතිබුණේ අපගේ දෘෂ්ටිකෝණ අතර ගැටුම් තත්ත්වයක් තිබුණ නිසාය. නමුත් මම මේ කාරණය සාකච්ඡා කළ අවසන් වතාවේ මා කාරුණික හෝ නිහතමානී නොවූ බව මම දැන සිටියෙමි.

දුරකථන ඇමතුම අපේක්ෂාවෙන්, මා කල්පනා කරමින් සිටියේ, ඇය මට සමාව නොදී සිටියොත් හෝ අපේ මිත්‍රත්වය දිගටම කරගෙන යාමට අකමැති නම් හෝ මා කුමක් කළ යුතුද යන්නයි. එම අවස්ථාවේදී, ගීතයක ගී පද මගේ මතකයට නැඟුණු අතර, එය මම මගේ පාපය දෙවියන්වහන්සේට පාපොච්චාරණය කළ අවස්ථාවට මාව නැවත ගෙන ගියේය. මට සහනයක් දැණුනි. මක්නිසාද දෙවියන්වහන්සේ මට සමාව දී මාව වරදින් නිදහස් කළ බව මම දැන සිටි හෙයිනි

අපේ සම්බන්ධතා පිළිබඳ ගැටලු විසඳා ගැනීමට උත්සාහ කරන විට මිනිසුන් අපට ප්‍රතිචාර දක්වන ආකාරය පාලනය කළ නොහැකිය. අප අතින් සිදු වූ වැරදි පිළිගෙන, නිහතමානීව සමාව ඉල්ලමින්, අවශ්‍ය ඕනෑම වෙනසක් කරමින්, දෙවියන්වහන්සේට එය විසඳීමට අපට ඉඩ දිය හැකිය. නොවිසඳුණු “මිනිස් ගැටලු” වල වේදනාව අපට විඳ දරාගැනීමට සිදු වුවද, උන්වහන්සේ සමඟ සැමවිටම සාමයෙන් සිටිය හැකි ය. දෙවියන්වහන්සේගේ දෑත් විවෘතව ඇති අතර, අපට කරුණාව සහ අවශ්‍ය දයාව පෙන්වීමට උන්වහන්සේ බලා සිටින සේක. “අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක” (1 යොහන් 1:9).