මාස හතරක් වයසැති ලියෝ තම දෙමාපියන් නොදුටුවේය. ඔහු උපත ලැබුවේ ඔහුගේ පෙනීම නොපැහැදිලි වූ දුර්ලභ තත්ත්වයක් සමඟිනි. ඔහුට එය ඝන මීදුමක ජීවත් වෙන්නාක් මෙන් වුනි. නමුත් පසුව අක්ෂි වෛද්‍යවරු ඔහුට විශේෂ ඇස් කන්නාඩි කට්ටලයක් සවි කළහ.

ලියෝගේ අම්මා අලුත් කණ්නාඩි පළමු වතාවට ඔහුගේ ඇස් මත තබන වීඩියෝවක් දරුවාගේ පියා විසින් සමාජ මාධ්‍යයේ පළ කරණ ලදී. ලියෝගේ දෑස් සෙමෙන් අප වෙත යොමු කරන ආකාරය අප බලා සිටියෙමු. ඔහු ඇත්තටම තම මව පළමු වතාවට දකින විට ඔහුගේ මුහුණ පුරා සිනහවක් පැතිර ගියේය. මෙය මිල කළ නොහැකිය. ඒ මොහොතේදී, පුංචි ලියෝට හොඳටම ඇස් පෙනීම ලැබුණි.

යේසුස්වහන්සේ තම ගෝලයන් සමඟ කළ සංවාදයක් යොහන් වාර්තා කරයි. “ස්වාමිනි, පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනව” (යොහන් 14:8) කියා පිලිප් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මෙතරම් කාලයක් එකට සිටියත්, යේසුස්වහන්සේගේ ගෝලයන්ට තමන් ඉදිරියෙන් සිටින්නේ කවුරුදැයි හඳුනා ගැනීමට නොහැකි විය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාස කරන්නේ නැද්ද?” යනුවෙන් කී සේක (10 පදය). මීට පෙර යේසුස්වහන්සේ පවසා තිබුණේ, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය” (6 පදය) කියාය. මෙය යේසුස්වහන්සේගේ “මම වෙමි” යන ප්‍රකාශ හතෙන් හයවන ප්‍රකාශයයි. උන්වහන්සේ අපට පවසන්නේ මෙම “මම වෙමි” යන කාචය හරහා උන්වහන්සේ දෙවියන් වහන්සේම බව පැහැදිළිව දකින ලෙසටය.

අප බොහෝ විට ගෝලයෝ වගේමය. දුෂ්කර කාලවලදී, අපි අරගල කරමින්, නොපැහැදිලි දර්ශනයන් වර්ධනය කර ගන්නෙමු. දෙවියන්වහන්සේ කර ඇති දේ සහ උන්වහන්සේට කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කිරීමට අපි අසමත් වෙන්නෙමු. කුඩා ලියෝ විශේෂ කණ්නාඩි පැළඳ සිටියදී, ඔහුට ඔහුගේ දෙමාපියන් පැහැදිලිව දැකගත හැකි විය. සමහර විට යේසුස්වහන්සේ ඇත්තටම කවුරුදැයි අපට පැහැදිලිව දැක ගැනීමට හැකි වන පරිදි අපට දෙවියන්වහන්සේගේ කණ්නාඩි පැළඳීමට අවශ්‍ය වනු ඇත.