එක් සවස් වරුවකදී මම අපේ අසල්වැසි ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක් අසල ව්‍යායාමය සඳහා සෙමින් දුවමින් සිටියදී, කෙට්ටු, අපිරිසිදු පූස් පැටියෙක් මා දෙසම බලා මා පසුපස අපේ නිවසට පැමිණියේය. අද, මිකී සෞඛ්‍ය සම්පන්න, ‘කඩවසම්‘ වැඩිහිටි බළලෙක් වන අතර, අපගේ නිවසේ සුවපහසු ජීවිතයක් ගත කරමින් මගේ පවුලේ අයගේ දැඩි ආදරයට ලක් වී සිටියි. මම ඌව සොයාගත් පාරේ ව්‍යායාම් කරන සෑම විටකදීම මට බොහෝ විට “ස්තූතියි, දෙවියන්වහන්ස” කියා කියමි. මිකී වීදිවල ජීවත් වීමෙන් බේරුණි. ඔහුට දැන් නිවසක් ඇත.

ගීතාවලිය 91 කතා කරන්නේ “මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන” (1 පදය) සහ දෙවියන්වහන්සේ සමඟ තම නිවස සාදා ගන්නා අය ගැන ය. මෙහි, ‘වාසය කිරීම‘ සඳහා වූ හෙබ්‍රෙව් වචනයේ තේරුම “පවතින්න, ස්ථිරව සිටීම” යන්නයි. අප උන්වහන්සේ තුළ රැඳී සිටින විට, උන්වහන්සේගේ ප්‍රඥාවට අනුව ජීවත්වීමට සහ සියල්ලටම වඩා උන්වහන්සේට ප්‍රේම කිරීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක (14 පදය; යොහන් 15: 10). සදාකාලයටම උන්වහන්සේ සමඟ සිටීමේ සැනසීම මෙන්ම භූමික දුෂ්කරතා තුළින් උන්වහන්සේ අප සමඟ සිටීමේ ආරක්ෂාව ද දෙවියන්වහන්සේ අපට පොරොන්දු වන සේක. කරදර පැමිණිය හැකි වුවද, අපට උන්වහන්සේගේ පරමාධිපත්‍යය, ප්‍රඥාව සහ ප්‍රේමය තුළ අපව ආරක්ෂා කිරීමටත් මුදා හැරීමටත් ඇති පොරොන්දු තුළ අපට සහනය ලබා ගත හැකිය.

අප දෙවියන්වහන්සේව අපගේ රක්ෂාස්ථානය කරගත් විට, අපි “සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි” වාසය කරන්නෙමු (ගීතාවලිය 91:1). උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව සහ ප්‍රේමය විසින් ඉඩ දෙන අවස්ථාවන් වලට හැර කිසිම කරදරයකට අපව ස්පර්ශ කළ නොහැක. මෙය අපගේ නිවස ලෙස දෙවියන්වහන්සේ ලබාදෙන ආරක්ෂාවයි.