මෑතකදී, මගේ බිරිඳ සහ මම අමුත්තන් පැමිණීමට පෙර අපගේ නිවස පිරිසිදු කරමින් සිටියෙමු. අපේ මුළුතැන්ගෙයි බිම සුදු ටයිල් තට්ටුවේ අඳුරු පැල්ලම් කිහිපයක් මම දුටිමි: ඒවා පිරිසිදු කිරීමට නම් මගේ දණින් සිටිමින් අතුල්ලන්ට අවශ්‍ය වූ බවක් පෙණුනි. නමුත් මම ඉක්මනින්ම යමක් අවබෝධ කර ගත්තෙමි: එනම්, මා අතුල්ලන තරමට වැඩි වැඩියෙන් මම වෙනත් පැල්ලම් දුටුවෙමි. මම පැල්ලම් ඉවත් කරන විට අනෙක් පැල්ලම් වඩාත් පැහැදිලි විය. අපේ මුළුතැන්ගෙයි බිම හදිසියේම පිරිසිදු කළ නොහැකි තරම් අපිරිසිදු බව පෙනෙන්නට තිබුණි. ඒ වගේම හැම මොහොතකම මට පැහැදිලි වූයේ, මා කොපමණ මහන්සි වුවත් මට මේ බිම සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට අපහසු බවය.

ශුද්ධ ලියවිල්ලේහිදී “ස්වයං පිරිසිදු කිරීම” ගැන සමාන දෙයක් පවසයි – අප විසින්ම පාපය සමඟ කටයුතු කිරීමට දරණ අපගේ හොඳම උත්සාහයන් සැමවිටම අසාර්ථක වේ. දෙවියන්වහන්සේගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් උන්වහන්සේගේ ගැළවීම අත්විඳීම ගැන බලාපොරොත්තු සුන් වූ බවක් පෙනෙන්නට තිබුණි (යෙසායා 64:5), අනාගත වක්තෘ යෙසායා මෙසේ ලිවීය, “අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය” (පදය 6).

නමුත් දෙවියන්වහන්සේගේ යහපත්කම තුළින් සෑම විටම බලාපොරොත්තුවක් ඇති බව යෙසායා දැන සිටියේය. එබැවින් ඔහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, ඔබ අපේ පියාණෝය. අපි මැටිය, ඔබ අපේ කුම්භකාරයාය” (8 පදය) යනුවෙන් කීවේය. අපට කළ නොහැකි දේ එනම් ගැඹුරුම පැල්ලම් “හිම මෙන් සුදු” වන තුරු පවිත්‍ර කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණක් බව ඔහු දැන සිටියේය (1:18).

අපගේ ආත්මය මත ඇති පාපයේ අපද්‍රව්‍ය සහ මඩ මකා දැමිය නොහැක. අපට සම්පූර්ණයෙන් පවිත්‍ර වීමට ඉඩ සලසන යේසු සමිඳුන්ගේ පූජාව තුළ අපට ගැළවීම ලැබිය හැකි බැවින් ස්තූතිවන්ත වෙමු (1 යොහන් 1:7).