සූගේ පවුල ඇගේ ඇස් ඉදිරිපිට කඩා වැටෙමින් තිබුණි. ඇගේ සැමියා හදිසියේම නිවසින් පිටව ගොස් ඇති අතර, ඇය සහ ඇගේ දරුවන් ව්‍යාකූලත්වයට හා කෝපයට පත්ව සිටියහ. ඇය සමඟ විවාහ උපදේශනය සඳහා පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද, ගැටළු ඇගේ බව පවසමින් ඔහු එසේ නොකළේය. ඔහු කිසි දිනෙක ආපසු නොඑනු ඇතැයි ඇය වටහා ගත් විට භීතිය සහ බලාපොරොත්තු සුන්වීම ඇති විය. ඇය සහ ඇගේ දරුවන් තනිවම රැකබලා ගැනීමට ඇයට හැකි වේද?

ආබ්‍රහම්ගේ සහ සාරාගේ සේවිකාවක් වූ හාගර්ද එම සිතුවිලිවලට මුහුණ දුන්නාය. පොරොන්දු වූ පරිදි දෙවියන්වහන්සේ ඔවුන්ට පුතෙකු ලබා දෙනතුරු නොඉවසිලිමත් වී (උත්පත්ති 12 සහ 15), සාරා විසින් හාගර්ව ඇගේ ස්වාමිපුරුෂයාට ලබා දුන් අතර හාගර් ඉෂ්මායෙල් බිහි කළාය (16:1-4 සහ 15). කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව ඉටු කළ පසු සහ සාරා ඊසාක් බිහි කළ පසුව, පවුලේ ආරවුල් ඇති වූ අතර, ආබ්‍රහම් හාගර්ව ඔවුන්ගේ පුත් ඉෂ්මායෙල් සමඟ පිටත් කර හැරියේ ජලය සහ ආහාර ස්වල්පයක් සමඟිනි (21:8-21). ඇගේ බලාපොරොත්තු සුන්වීම ඔබට සිතාගත හැකිද? වැඩි කල් නොගොස් ඔවුන්ට කාන්තාරයේ ආහාර හිඟ විය. කුමක් කළ යුතු දැයි නොදැන සහ තම පුතා මිය යනු දැකීමට අකමැති වූ හාගර් ඉෂ්මායෙල්ව පඳුරක් යට තබා ටික දුරක් ඇවිද ගියාය. ඔවුන් දෙදෙනාම හඬන්නට විය. නමුත් “දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූ සේක” (17 පදය). උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම් අසා, ඔවුන්ගේ අවශ්‍යතා සපයා, ඔවුන් සමඟ සිටි සේක.

තනියම යැයි හැඟෙන මංමුලා සහගත අවස්ථාවන්වලදී අප දෙවියන්වහන්සේට මොර ගැසීමට එය හේතුවක් වෙයි. එම අවස්ථා වලදී සහ අපගේ ජීවිත කාලය පුරාවටම උන්වහන්සේ අපට සවන් දෙන බවත්, අපට අවශ්‍ය පහසුකම් සපයන බවත්, අප ළගින් සිටින බවත් දැනගැනීම මොනතරම් සහනයක්ද?