රාජ් තම තරුණ අවධියේදී තම ගැළවුම්කරුවාණෝ ලෙස යේසුස්වහන්සේව විශ්වාස කළ නමුත් වැඩි කල් නොගොස් ඔහු ඇදහිල්ලෙන් ඉවත්ව දෙවියන්වහන්සේගෙන් වෙන්ව ජීවිතයක් ගත කළේය. පසුව දිනක්, ඔහු යේසුස්වහන්සේ සමඟ ඔහුගේ සම්බන්ධය අලුත් කර නැවත දේවස්ථානයට යාමට තීරණය කළ නමුත් වසර ගණනාවක් තිස්සේ නොපැමිණීම ගැන ඔහුට දොස් තැබූ කාන්තාවක් ඔහුට මුණ ගැසුණි. මෙම බැණ වැදීම රාජ්ගේ ලැජ්ජාව සහ වරදකාරි හැඟීම වැඩි කළේය. “මම බලාපොරොත්තුවෙන් ඔබ්බටද?” කියා ඔහු කල්පනා කළේය. තමන්වහන්සේව ප්‍රතික්ෂේප කළත්, ක්‍රිස්තුස්වහන්සේ සීමොන් පේත්‍රැස්ව (යොහන් 21:15-17) ප්‍රතිෂ්ඨාපනය කළ ආකාරය ඔහු සිහිපත් කළේය (ලූක් 22:34 සහ 60-61).

පේත්‍රැස් අපේක්ෂා කළ බැන වැදීම කුමක් වුවත්, ඔහුට ලැබුණේ සමාව සහ යළි ප්‍රතිෂ්ඨාපනය පමණි. යේසුස්වහන්සේ, පේත්‍රැස්ගේ ප්‍රතික්ෂේප කිරීම ගැන සඳහන් නොකළ නමුත් ඒ වෙනුවට ඔහුට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය නැවත තහවුරු කිරීමට සහ ඔහුගේ අනුගාමිකයන් රැකබලා ගැනීමට අවස්ථාවක් ලබා දුන් සේක (යොහන් 21:15-17). පේත්‍රැස්, යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට පෙර උන්වහන්සේ පැවසූ වදන් ඉෂ්ඨ විය: එනම්, “නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරන්නැයි කී සේක” යන්නයි (ලූක් 22:32).

රාජ්, දෙවියන්වහන්සේගෙන් සමාව සහ යළි පිහිටුවීම ඉල්ලා සිටි අතර, අද, ඔහු, යේසුස්වහන්සේ සමඟ සමීපව ගමන් කරනවා පමණක් නොව දේවස්ථානයක සේවය කරමින් අනෙකුත් ඇදහිලිවන්තයන්ටද සහයෝගය දක්වයි. අප දෙවියන්වහන්සේගෙන් කොතරම් දුරස් වී සිටියත්, අපට සමාව දීමට සහ අපව නැවත පිළිගැනීමට පමණක් නොව, උන්වහන්සේට ප්‍රේම කිරීමට, සේවය කිරීමට සහ උන්වහන්සේව මහිමයට පත් කිරීමට හැකි වන පරිදි අපව යථා තත්ත්වයට පත් කිරීමටද උන්වහන්සේ සැමවිටම සූදානම්ව සිටින සේක. අපි කිසි දවසක දෙවියන්වහන්සේගෙන් බොහෝ දුරස් නොවෙමු: උන්වහන්සේගේ ප්‍රේමණීය දෑත් පුළුල්ව විවෘතව තිබෙන සේක.