2020 දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන දහනව වන සංශෝධනය සම්මත කිරීමේ සියවන සංවත්සරය සැමරුම් උත්සවය පැවැත්විය. පැරණි ඡායාරූපවල දැක්වෙන්නේ ගීතාවලිය 68.11 හී සඳහන් වන “ස්වාමින්වහන්සේ වචනය දෙන සේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය” යන වචන වලින් සරසා ඇති බැනර් සහිත පෙළපාලි යන ජනකායන්ය.

ගීතාවලිය 68 හි, දාවිත් විසින් දෙවියන්වහන්සේව විස්තර කරන්නේ පීඩිතයන්ව ඔවුන්ගේ වහල්භාවයෙන් ගෙන යන තැනැන්වහන්සේ ලෙසත් (6 පදය), උන්වහන්සේගේ විඩාපත් ජනතාව ප්‍රබෝධමත් කර උන්වහන්සේගේ ධනයෙන් අලුත් කරන තැනන්වහන්සේ ලෙසත්ය (9-10 පද). මෙම ගීතිකාවේ පද තිස්පහ තුළ, උන්වහන්සේ නිරන්තරයෙන් ඔවුන් සමඟ සිටි ආකාරයත්, අයුක්තියෙන් සහ දුක් වේදනාවලින් ඔවුන්ව ගළවා ගැනීමට කටයුතු කරන ආකාරයත් ගැන දෙවියන්වහන්සේව හතළිස් දෙවතාවක් දාවිත් සඳහන් කරයි, හෙළි කරයි. තවද බලවත් ස්ත්‍රීහූ මහත් සේනාවක් මෙම සත්‍යය ප්‍රකාශ කරති (11 පදය).

ඡන්ද අයිතිය වෙනුවෙන් පෙළපාලි ගිය කාන්තාවන් ගීතාවලිය 68 හී සම්පුර්ණයෙන්ම ප්‍රකාශ කරන සියල්ල තේරුම් ගත්තද කියා අප නොදන්නා නමුත් ඔවුන්ගේ බැනර් සදාකාලික සත්‍යයක් ප්‍රකාශ කළේය. “පියා නැත්තන්ට පියෙක්ද” සහ “වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද” (5 පදය) වන දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ සෙනඟට ආශීර්වාද, ප්‍රබෝධය සහ ප්‍රීතිය ඇති ස්ථාන කරා ඔවුන්ව ගෙනයාම සඳහා ඔවුන් පෙරටුවෙන් ගිය සේක.

දෙවියන්වහන්සේගේ අභිමුඛය සැමවිටම උන්වහන්සේගේ සෙනඟ සමඟ වන බවත්, විශේෂ ආකාරයකින් අවදානමට ලක්විය හැකි සහ දුක් විඳින අය සමඟ වන බවත් මතක තබා ගනිමින් අද දින අපි දිරිමත් වෙමු. අතීතයේ දී උන්වහන්සේගේ ආත්මයාණන් තුළින් සිටි ආකාරයෙන්, දෙවියන්වහන්සේ අදත් අප සමඟ බලවත් ලෙස පෙනී සිටින සේක.