ඇමෙරිකාවේ, දකුණු ලුයිසියානා හි 2016 ගංවතුරෙන් පසු මම මගේ සමාජ මාධ්‍යයේ තිබුණු සටහන් දිහා නැවතත් බැලූ අවස්ථාවකදී, මට මිතුරෙකුගේ සටහනක් හමු විය. ඇගේ නිවස සම්පූර්ණයෙන්ම කඩා දමා නැවත ගොඩනඟා ගත යුතු බව දැනගත් පසු, මගේ මිතුරියගේ මව ඇයව උනන්දු කළේ, හදවත් කම්පා කරවන පිරිසිදු කිරීමේ කාර්යයේදී පවා දෙවියන්වහන්සේව සෙවීමටය. මගේ මිතුරිය පසුව නිවසේ නිරාවරණය වූ දොර රාමු මත ඇය අනාවරණය කරගත් බයිබල් පදවල පින්තූර සමාජ මාධ්‍යයේ පළ කළ අතර, බොහෝ දුරට නිවස ඉදිකරපු කාලයේ මේවා ලියා ඇති බව ඈ සඳහන් කර තිබුණි. ලෑලි මත ලියා තිබුණු ශුද්ධ ලියවිල්ලේ පද කියවීමෙන් ඇයට සැනසීමක් ලැබුණි.

දොර රාමු මත බයිබල් පද ලිවීමේ සම්ප්‍රදාය, ඊශ්‍රායෙලයට දුන් දෙවියන්වහන්සේගේ ආඥාවෙන් පැමිණෙන්නට ඇත. දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට උපදෙස් දුන්නේ උන්වහන්සේ කවුරුන්දැයි මතක තබා ගැනීමේ මාර්ගයක් ලෙස දොර රාමු මත උන්වහන්සේගේ ආඥා ලියන ලෙසයි. දෙවියන්වහන්සේගේ ආඥා ඔවුන්ගේ හදවත් වල ලියා තබා ගැනීමෙන්ද (ද්වීථිය කථාව 6:6) ඒවා තම දරුවන්ට කියා දීමෙන්ද (7 පදය) දෙවියන්වහන්සේ අණ කළ දේ නැවත නැවත සිහිපත් කිරීමට සංකේත සහ වෙනත් ක්‍රම භාවිතා කිරීමෙන්ද (8 පදය) දොර රාමු සහ ඇතුල්වීමේ මාර්ග මත වචනය තැබීමෙන්ද (9 පදය) ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේගේ වචනය නිතර නිතර සිහිපත් කර ගැනීමට හැකි වුනි. උන්වහන්සේ පැවසූ දේ හෝ උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම හෝ කිසිදා අමතක නොකරන ලෙස ඔවුන්ව දිරිමත් කරන ලදී.

අපගේ නිවෙස් තුළ දෙවියන්වහන්සේගේ වචන ප්‍රදර්ශනය කිරීම මෙන්ම ඒවායේ අරුත අපගේ හදවත් තුළ පිහිටුවා ගැනීමෙන් දේව වචනයේ හෙළිදරව් කර ඇති පරිදි උන්වහන්සේගේ විශ්වාසවන්තකම මත රඳා පවතින පදනමක් ගොඩනගා ගැනීමට අපට උපකාර වනු ඇත. එමෙන්ම ඛේදවාචකයක් හෝ හද කම්පා කරවන අලාභයක් හෝ මධ්‍යයේ වුවද අපව සැනසීමට උන්වහන්සේට එම වචන භාවිත කළ හැක.