ෆෙඩ්රික් බ්‍රවුන්ගේ ත්‍රාසජනක “නොක්” (තට්ටුකරන්න) කෙටිකතාවෙ හි ඔහු මෙසේ ලිවීය, “පෘථිවියේ අවසාන මිනිසා කාමරයක තනිවම වාඩි වී සිටියේය. දොරට තට්ටු කරන ශබ්දයක් ඔහුට ඇසුණේය. “අපොයි! ඒ කවුරුන් විය හැකිද, ඔවුන්ට අවශ්‍ය කුමක්ද?” ඔහුව හමුවීමට පැමිණ ඇති අද්භූත කෙනා කවුරුන්ද? එම මිනිසා තනිවම නොවෙයි. අපිත් එසේමයි…

ලවෝදීකයේ සභාවේ දොරටුවට තට්ටු කරන ශබ්දයක් ඇසුණි (එළිදරව් 3:20). ඔවුන් සඳහා පැමිණි අද්භූත කෙනා කවුරුන්ද? උන්වහන්සේගේ නම යේසුස්ය. “පළමුවෙනියා සහ අන්තිමයාය . . .ජීවමාන වූ තැනැත්තාය” (1:17-18). උන්වහන්සේගේ නෙත් ගින්නක් මෙන් දිලිසුන අතර, උන්වහන්සේගේ මුහුණ “තදින් බබළන සූර්යයා මෙන්ය” (16 පදය). උන්වහන්සේගේ හොඳම මිතුරා වන යොහන් උන්වහන්සේගේ තේජස දුටු විට, මෙසේ කිවේය: මම “මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි” (17 පදය). ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ආරම්භ වන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති බිය තුළිනි.

අපි තනිවම නොවේ, මෙයද සැනසීමකි. යේසුස්වහන්සේ “දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරා ගන්නා සේක” (හෙබ්‍රෙව් 1:3). නමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ශක්තිය භාවිතා කරන්නේ අපව ඝාතනය කිරීමට නොව අපට ප්‍රේම කිරීමටය. උන්වහන්සේගේ ආරාධනය අසන්න, “මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය” (එළිදරව් 3:20). අපගේ ඇදහිල්ල ආරම්භ වන්නේ දොර ළඟ සිටින්නේ කවුරුන්ද? යන බියෙනි. එය අවසන් වන්නේ පිළිගැනීමකින් සහ ශක්තිමත් වැළඳගැනීමකින්ය. අප මිහිපිට සිටින අවසාන පුද්ගලයා වුවද, සැමවිටම අප සමඟ සිටීමට යේසුස්වහන්සේ පොරොන්දු වන සේක. අපි තනිවම නොවන නිසා දෙවියන්වහන්සේට ස්තූතියි.