අපේ ආලින්දයේ වත්තේ වතුර බටය අසල වල් පැළෑටියක් පැලවී තිබෙන බව මම දුටු විට, එය හානිකර නොවන බව දැක මම, එය නොසලකා හැරියෙමි. කුඩා වල් පැළෑටියක් අපගේ වත්තේ තණකොළ වලට හානියක් විය හැක්කේ කෙසේද? නමුත් සතියෙන් සතිය පසු වූ විට, එම කරදරකාරී පැළෑටිය කුඩා පඳුරක් තරම් වර්ධනය වී අපගේ මිදුල අත්පත් කර ගැනීමට පටන් ගත්තේය. එහි දඬු අප ඇවිදින මාර්ගයේ කොටසක් මත පැතිර කුඩා පැළෑටි වෙනත් ප්‍රදේශවල ද පැළ විය. එහි විනාශකාරී පැවැත්ම පිළිගනිමින්, මම මගේ ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා සිටියේ වල් පැළෑටි මුල්වලින් හාරා අපගේ වල් නාශකයක් භාවිතා කරමින් මිදුල ආරක්ෂා කිරීමට මට උදව් කරන ලෙසයි.

අප එය නොසලකා හරින විට හෝ එය තිබෙන බව ප්‍රතික්ෂේප කරන විට, පාපය අනවශ්‍ය ලෙස වැඩෙමින් අපගේ ජීවිත ආක්‍රමණය කර අපගේ පුද්ගලික අවකාශය අඳුරු කළ හැකිය. අපගේ පව් රහිත දෙවියන්වහන්සේ තුළ කොහෙත්ම අන්ධකාරයක් නොමැත. උන්වහන්සේගේ දරුවන් වශයෙන්, පව්වලට මුහුණ දීමට සූදානම් කර සහ එයට එරෙහිව ක්‍රියා කිරීමේ වගකීම අපට ලබා දී ඇති හෙයින් “උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු” (1 යොහන් 1:7). පාපොච්චාරණය සහ පසුතැවිලි වීම තුළින්, අපට සමාව ලැබීමට සහ පාපයෙන් නිදහස් වීමට (8-10 පද) අපට අත් දැකිය හැක්කේ අපට ශ්‍රේෂ්ඨ උපදේශකයෙකු වන යේසුස්වහන්සේ (2:1) සිටින බැවිනි. උන්වහන්සේගේ ස්ව කැමැත්තෙන්ම, උන්වහන්සේගේ ජීව-රුධිරය “අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසා” (2 පදය) අවසාන මිළය වශයෙන් ගෙවූ සේක.

අපගේ පාපය දෙවියන්වහන්සේ විසින් අපගේ අවධානයට යොමු කරන විට, අපට ප්‍රතික්ෂේප කිරීම, මග හැරීම හෝ වගකීමෙන් බැහැරවීම තෝරා ගත හැකිය. නමුත් අප පාපොච්චාරණය කර පසුතැවිලි වන විට, උන්වහන්සේ හා අන් අය සමඟ අපගේ සබඳතාවලට හානි කරන පව් උන්වහන්සේ උගුලා දමා ඉවත් කරන සේක.