“ස්වාමීනි, මෙම රට හැර වෙනත් ඕනෑම තැනකට මා යවනු මැනව.” විදේශ රටක ශිෂ්‍යයෙකු ලෙස වසරක් ගත කිරීමට පෙර නව යොවුන් වියේදී මගේ යාච්ඤාව එය විය. මම යන්නේ කොහේදැයි මම නොදැන සිටියෙමි, නමුත් මට යාමට අකමැති තැන මම දැන සිටියෙමි. මම එම රටේ භාෂාව කතා නොකළෙමි, එසේම, එහි සිරිත් විරිත්වලට හා මිනිසුන්ට එරෙහි මගේ සිත අගතීන්ගෙන් පිරී ගියේය, එබැවින් මා වෙනත් ස්ථානයකට යවන ලෙස මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි.

නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාවෙන් නොයවන ලෙස මම ඉල්ලා සිටි තැනටම මා යැවූ සේක. උන්වහන්සේ එසේ කිරීම ගැන අද මම සතුටු වෙමි! අවුරුදු හතළිහකට පසුවත් මට ඒ දේශයේ හිතවත් මිතුරන් සිටිති. මගේ විවාහයේදී, මනමාලයාගේ යහළුවා ලෙස සිටි ස්ටෙෆාන් එම රටේ කෙනෙක් විය. ඔහු විවාහ වූ විට, සතුට ප්‍රකාශ කිරීමට මම එම රටට නැවතත් ගියෙමි. එලෙසම අපි ළඟදීම තවත් සංචාරයක් සැලසුම් කරමින් සිටිමු.

දෙවියන්වහන්සේ හදවත වෙනස් කරන විට අලංකාර දේවල් සිදුවේ. එවැනි පරිවර්තනයක් හුදෙක් වචන දෙකකින් නිරූපණය කෙරේ: ඒ “සහෝදර සාවුල්” යනුවෙනි (ක්‍රියා 9:17).

එම වචන සාවුල්ගේ හැරීමෙන් පසු වහාම ඔහුගේ පෙනීම සුව කිරීමට දෙවියන්වහන්සේ කැඳවූ ඇදහිලිවන්තයෙකු වූ අනනියස්ගෙන් ප්‍රකාශ විය (10-12 පද). සාවුල්ගේ ප්‍රචණ්ඩකාරී අතීතය නිසා අනනියස් මුලින්ම විරුද්ධ විය, ඔහු මෙසේ යාච්ඤා කරමින්: “ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි” (13 පදය) යයි කීවේය.

නමුත් අනනියස් කීකරු වී ගියේය. ඔහුගේ සිත වෙනස් වූ නිසා, අනනියස් ඇදහිල්ලේ නව සහෝදරයෙකු ලබා ගත්තේය, සාවුල් පාවුල් ලෙස ප්‍රසිද්ධ වූ අතර යේසුස්වහන්සේගේ ශුභාරංචිය බලයෙන් යුතුව පැතිර ගියේය. උන්වහන්සේ තුළින් සෑම විටම සැබෑ වෙනසක් ඇති විය හැකිය!