මම මගේ හයවන ශේණියේ මුණුපුරා වන ලෝගන්ට තේරුම් ගැනීමට අමාරු වීජීය ගණිතයට සම්බන්ධ ගෙදර වැඩ කිහිපයක් කිරීමට උදව් කරමින් සිටියදී, ඉංජිනේරුවෙකු වීමේ ඔහුගේ සිහිනය ගැන ඔහු මට කීවේය. ඔහුගේ පැවරුමේ ඇති “එක්ස්” සහ “වයි” සමඟ කුමක් කළ යුතු දැයි සොයා බැලීමට අපි නැවතත් පැමිණි පසු, ඔහු පැවසුවේ, “මම මේ දේවල් භාවිතා කරන්නේ කවදාද?” කියාය.

සිනහ නොවී සිටීමට නොහැකි වූ මම ”හොඳයි, ලෝගන්, ඔබ ඉංජිනේරුවෙකු වුවහොත් ඔබ මෙය භාවිතා කළ යුතුයි!”යැයි පැවසුවෙමි. වීජීය ගණිතය සහ ඔහු බලාපොරොත්තු වූ අනාගතය අතර සම්බන්ධය ඔහු අවබෝධ කරගෙන නොතිබුණි.

සමහර අවස්ථාවලදී අපි දේව වචනය දෙස බලන්නේද එලෙසය. අපි දේශනාවලට සවන් දෙන විට සහ බයිබලයේ සමහර කොටස් කියවන විට, “මම කවදාද මෙය භාවිතා කරන්නේ?” කියා අපට සිතෙන්නට පුළුවනි. ගීතිකාකරු වූ දාවිත්ට පිළිතුරු කිහිපයක් තිබුණේය. දේව වචනයේ ඇති දෙවියන්වහන්සේගේ සත්‍යයන් “ආත්මය ප්‍රාණවත් කිරීමට” ද, “නුවණ නැත්තන් ඥානවන්ත කිරීමට” ද සහ “සිත ප්‍රීති කරවන්ට” ද ඵලදායී වන බව ඔහු පැවසීය (ගීතාවලිය 19:7-8). ගීතාවලිය 19 හි සඳහන් වන පරිදි බයිබලයේ පළමු පොත් පහේ (සහ මුළු ශුද්ධ ලියවිල්ලේ) දක්නට ලැබෙන ප්‍රඥාව, අප දිනපතා ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම මත රඳා සිටින විට අපට උපකාර කරන්නේය (හිතෝපදේශ 2:6).

තවද දේව වචනය නොමැතිව, දෙවියන්වහන්සේව අත්විඳීමට සහ උන්වහන්සේගේ ප්‍රේමය සහ මාර්ග වඩා හොඳින් දැනගැනීමට දෙවියන්වහන්සේ අපට සපයා ඇති අත්‍යවශ්‍ය මාර්ගය අපට හිඟ වනු ඇත. බයිබලය අධ්‍යයනය කරන්නේ මන්ද? මක්නිසාද යත්, ”ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය” (ගීතාවලිය 19:8).