නළුවෙකු සහ සටන් කලාකරුවෙකු වන චක්, ඔහුගේ අධ්‍යාත්මික පරිවර්තනයට දායක වූ ආකාරය බෙදා ගනිමින් ඔහුගේ මවගේ සියවන උපන්දිනය වෙනුවෙන් ඇයට ගෞරව කළේය. “අම්මා, නොපසුබට උත්සාහය සහ ඇදහිල්ල පිළිබඳ ආදර්ශයක්” කියා ඔහු ලිවීය. “මහා (ආර්ථික) අවපාතයේ දී ඇය තනිවම පිරිමි ළමයින් තිදෙනෙකු ඇති දැඩි කළාය; ස්වාමිපුරුෂයන් දෙදෙනෙකුගේ, පුතෙකුගේ, සුළු පුතෙකුගේ සහ මුණුබුරන්ගේ වියෝවීම්වලට මුහුණ දුන්නාය; සහ බොහෝ ශල්‍යකර්මද විඳදරා ගත්තාය. මගේ මුළු ජීවිත කාලය පුරාම, මා කුමන අවස්ථාවක සිටියද, අම්මා මා වෙනුවෙන් යාච්ඤා කර ඇත.” ඔහු තවදුරටත් කියා සිටියේ, “හොලිවුඩය නිසා මගේ ආත්මය මට අහිමි වීමට තිබූ අවස්ථාවේදී පවා, ඇය මගේ සාර්ථකත්වය සහ ගැළවීම සඳහා නිවසට වී යාච්ඤා කරමින් සිටියාය.” ඔහු අවසන් කළේ, “මට හැකි සහ විය යුතු සියල්ල කිරීමට දෙවියන්වහන්සේට උපකාර කිරීම ගැන මම මගේ මවට ස්තූතිවන්ත වෙමි” යනුවෙනි.

චක්ගේ මවගේ යාච්ඤා ඔහුට ගැළවීම සොයා ගැනීමට සහ දේව භක්තික බිරිඳක් සොයා ගැනීමට උපකාර විය. ඇය තම පුතා වෙනුවෙන් දැඩි ලෙස යාච්ඤා කළ අතර දෙවියන්වහන්සේ ඇගේ යාච්ඤාවලට සවන් දුන්සේක. අපට හැමවිටම අපගේ යාච්ඤාවලට අප කැමති ආකාරයට පිළිතුරු නොලැබෙන්නට පුළුවන් හෙයින්, අපට යාච්ඤාව මැජික් පොල්ලක් ලෙස භාවිතා කළ නොහැක. කෙසේ වෙතත්, “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ට වන” බව යාකොබ් අපට සහතික කරයි (5:16). මෙම මව මෙන්, අපත්, රෝගී තත්ත්වයේ සහ කරදරයෙන් පෙළෙන අය වෙනුවෙන් නොකඩවා යාච්ඤා කළ යුතු වන්නෙමු (13-15 පද). ඇය මෙන්, අපි යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සමඟ කථා කරන විට, අපට දිරිගැන්වීමත්, සාමයත් සහ ආත්මයාණන්වහන්සේ ක්‍රියා කරන බවටත් සහතිකයක් ලබා ගත හැකිය.

ඔබ හඳුනන යමෙකුට ගැළවීම හෝ සුවය හෝ උපකාර අවශ්‍යද? ඇදහිල්ලෙන් යුතුව ඔබගේ යාච්ඤාවන් දෙවියන්වහන්සේට ඔසවන්න. උන්වහන්සේ සවන් දෙන සේක.