පදිංචිය වෙනස් කිරීම, ජීවිතයේ විශාලතම ආතතිය ලෙස සැලකේ. මම අවුරුදු විස්සකට ආසන්න කාලයක් මගේ පෙර නිවසේ ජීවත් වූ පසු අපි අපේ වර්තමාන නිවසට ගියෙමු. මම විවාහ වීමට පෙර අවුරුදු අටක් ඒ මුල්ම නිවසේ තනියම ජීවත් වූයෙමි. අපි විවාහ වීමෙන් පසුව මගේ ස්වාමිපුරුෂයා ඔහුට අයිති සියල්ල රැගෙන පදිංචියට පැමිණියේය. අපේ දරුවාගේ උපතින් පසුව, අපට තවත් බඩු භාණ්ඩ එකතු කිරීමට සිදු විය. .

අපි අලුත් නිවසට යන දවසේදී සිදුවීම් කිහිපයකට මුහුණ දීමට සිදු විය. බඩු භාණ්ඩ ගෙනයන්නන් පැමිණීමට විනාඩි පහකට පෙර, මම තවමත් පොත් අත්පිටපතක් අවසන් කරමින් සිටියෙමි. නව නිවසට පඩිපෙළ කිහිපයක් තිබූ බැවින් එය සැලසුම් කළ කාලය මෙන් දෙගුණයක් සහ බඩු ගෙන යාමට කුලී කරුවන් දෙගුණයක් පමණ අවශ්‍ය විය. නමුත් එදින සිදුවූ දේවල් වලින් මම ආතතියට පත් නූයෙමි. එවිට මට අවබෝධ වූයේ මෙයට හේතුව මෙම පොත දේව වචනයෙන් සහ බයිබලීය සංකල්පවලින් පිරී තිබූ හෙයිනි. දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, මම මගේ කාලසීමාව සපුරාලීම සඳහා බයිබලය අධ්‍යයනය කරමින් සහ යාච්ඤා කරමින් ලීවෙමි. එනිසා, මගේ සිතේ සාමයට හේතු වූයේ, දේව වචනයේ සහ යාච්ඤාවේ මා ‘ගිලී‘ සිටි නිසා බව මම විශ්වාස කරන්නෙමි.

පාවුල් මෙසේ ලිවීය: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න” (පිලිප්පි 4:6). අපි යාච්ඤා කරන විට සහ දෙවියන්වහන්සේ තුළ “ප්‍රීති වන” විට (4 පදය) – අපි අපගේ මනස ගැටළුවෙන් බැහැර කර අපගේ සැපයුම්කරු වෙත යොමු කරන්නෙමු. ආතතියත් සමඟ කටයුතු කිරීමට අපට උපකාර කරන ලෙස අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය, නමුත් එය තුළින් අපි උන්වහන්සේ සමඟ සම්බන්ධ වෙන්නෙමු, එමඟින් “කිසි නුවණකින් දැනගත නොහැකි වූ” සමාදානයක් එය අපට ලබා දෙනවා ඇත (7 පදය).