ඔවුන්ගේ නිශ්චිත වයස නොදන්නේය. එක් දැරියක් දේවස්ථානයක පඩිපෙළ මතින් හමු වූ අතර අනෙක් දැරිය දැන සිටියේ ඇය හැදී වැඩුණේ කන්‍යා සොහොයුරියන් යටතේ බව පමණි. දෙවන ලෝක යුධ සමයේදී පෝලන්තයේ උපත ලැබූ හලීනා හෝ ක්‍රිස්ටිනා වසර අසූවකට ආසන්න කාලයක් එකිනෙකා ගැන දැන සිටියේ නැත. පසු කාලයකදී රුධිර පරීක්ෂණ (DNA) ප්‍රතිඵලවලින් ඔවුන් සහෝදරියන් බව හෙළි වූ අතර ප්‍රීතිමත් නැවත හමුවීමකට මඟ පෑදුණි. එසේම එය ඔවුන්ගේ යුදෙව් උරුමය ද හෙළි කරනු ලැබුවේ ඔවුන් අතහැර දමා ඇත්තේ මන්දැයි පැහැදිලි කරමිනි. දුෂ්ට මිනිසුන් මෙම දැරියන්ව මරණයට සලකුණු කර ඇත්තේ ඔවුන්ගේ අනන්‍යතාවය නිසාය.

බියට පත් මවක්, තර්ජනයට ලක් වූ තම දරුවන් බේරා ගත හැකි ස්ථානයක අතහැර යන එක ගැන අපට සිහිපත් කරන්නේ මෝසෙස්ගේ කතාවයි. හෙබ්‍රෙව් පිරිමි දරුවෙකු ලෙස, ඔහුව ඝාතනය සඳහා ලකුණු කර තිබුණි (නික්මයාම 1:22 බලන්න). ඔහුගේ මව උපායශීලී ලෙස ඔහුව නයිල් නදියේ (2:3) තැබූ අතර, තම ළදරුවාට නොනැසී ජීවත්වීම සඳහා අවස්ථාවක් ලබා දුන්නාය. මෝසෙස්ගේ මාර්ගයෙන් තමන්වහන්සේගේ සෙනඟව ගළවා ගැනීම සඳහා, මෝසෙස්ගේ මව සිහිනෙන්වත් නොදැකපු සැලැස්මක් දෙවියන්වහන්සේට තිබුණි.

මෝසෙස්ගේ කතාව අපව යේසුස්වහන්සේගේ කතාවට යොමු කරයි. ඵාරාවෝ හෙබ්‍රෙව් පිරිමි දරුවන් ඝාතනය කිරීමට උත්සාහ කළ සේ, හෙරොද් බෙත්ලෙහෙමේ අවුරුදු දෙකට අඩු සියලුම පිරිමි දරුවන් ඝාතනය කිරීමට නියෝග කළේය (මතෙව් 2:13-16 බලන්න).

එවැනි සියලු වෛරයන් පිටුපස – විශේෂයෙන් දරුවන්ට විරුද්ධව සිටින්නේ අපගේ සතුරා වන යක්ෂයා ය. එවැනි ප්‍රචණ්ඩත්වය දෙවියන්වහන්සේව පුදුමයට පත් නොකරයි. උන්වහන්සේට මෝසෙස් වෙනුවෙන් සැලසුමක් තිබු අතර, ඔබ සහ මා සඳහාද උන්වහන්සේට සැලසුම් තිබේ. වරක් උන්වහන්සේගේ සතුරන්ව සිටි අයව ගළවා නැවත යථා තත්ත්වයට පත් කිරීම පිණිස, උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස්වහන්සේ හරහා, උන්වහන්සේ තම විශාලතම සැලැස්ම හෙළි කළ සේක.