යේසුස්වහන්සේ කෙරෙහි තරුණ ඇදහිලිවන්තයෙකු වූ ජොසේ තම සහෝදරයාගේ දේවස්ථානයට පැමිණ සිටියේය. දේව මෙහෙයට පෙර ජොසේ ශුද්ධස්ථානයට ඇතුළු වූ අවස්ථාවේදී, ඔහුව දුටු විට සහෝදරයාගේ මුහුණ වෙනස් විය. ජොසේ ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටි නිසා ඔහුගේ අත්වල කොටා තිබු පච්ච හොඳටම පෙනෙන්නට තිබුණි. ඔහුගේ සොහොයුරා ඔහුට ගෙදර ගොස් අත් දිග කමිසයක් හැඳ ගෙන එන ලෙස කීවේ ජොසේගේ බොහෝ පච්ච වල ඔහුගේ අතීතයේ ආකාරය පිළිබිඹු වී තිබූ බැවිනි. එම නිසා ජොසේට හදිසියේම අපිරිසිදු බවක් දැනෙන්නට විය. නමුත් තවත් මනුෂ්‍යයෙක් සහෝදරයන්ගේ වචන අසා සිටි අතර සභාපාලක වෙත ජොසේව කැඳවා ගෙන ගොස් සිදුවූ සියල්ල පැවසීය. සභා පාලක තුමා සිනාසෙමින් ඔහුගේ කමිසයේ බොත්තම් ගලවා, ඔහුගේ පපුවේ ඇති විශාල පච්චයක් පෙන්නුවේය – එය ඔහුගේ අතීතය පිළිඹිබු කරන චිත්‍රයකි. දෙවියන්වහන්සේ ජොසේගේ ඇතුළාන්තයේ සිට පිටත දක්වා පිරිසිඳු කර ඇති නිසා ඔහුගේ දෑත් ආවරණය කිරීමට අවශ්‍ය නැති බව සභා පාලක ජොසේට පෙන්නුම් කළේය.

දෙවියන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමේ ප්‍රීතිය දාවිත් අත්දැක්කේය. තම පාපය උන්වහන්සේට පාපොච්චාරණය කිරීමෙන් පසු දාවිත් මෙසේ ලිවීය: “අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය!” (ගීතාවලිය 32:1). ඔහුට දැන් “ධර්මිෂ්ඨ අය සමඟ ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීති” විය හැකියි (11 පදය). පසුව අපෝස්තලු පාවුල්, ගීතාවලිය 32:1-2හි ලියා තිබූ වචන රෝම 4:7-8හි උපුටා දක්වමින් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගැළවීමට සහ උන්වහන්සේ ඉදිරියෙහි නිර්මල ස්ථාවරයකට මඟ පෙන්වන බව ප්‍රකාශ කරන කොටසක් බව දැක්වූයේය (රෝම 4:23-25 බලන්න).

උන්වහන්සේ අපගේ හදවත් දන්නා අතර අපව පවිත්‍රද කරන බැවින් යේසුස්වහන්සේ තුළ අපගේ පවිත්‍ර භාවය සමට වඩා ගැඹුරු ය (1 සාමුවෙල් 16:7; 1 යොහන් 1:9). අද දින උන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාර්යන් ගැන අපි ප්‍රීති වෙමු.