මීට වසර කිහිපයකට පෙර, අපි දේශීය සත්ව ගොවි පොලකින් ජූනෝ නම් වැඩිහිටි කළු බළලෙකු ගෙදර ගෙන ආවෙමු. ඇත්ත වශයෙන්ම, මට අවශ්‍ය වූයේ අප නිවසේ මීයන්ගේ ගහනය තුනී කිරීමට උපකාර කිරීම වූවත් පවුලේ සෙසු අයට සුරතලෙකු අවශ්‍ය විය. එම පළමු සතිය තුළදී ඌට කෑම සඳහා දින චර්යාවක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගොවි පොලින් අපට දැඩි උපදෙස් ලබා දුන්නේය, ඒ අනුව ජූනෝ අපගේ නිවස උගේ නිවස ලෙසත්, ඌ අයත් ස්ථානය සහ ඌට සැමවිටම ආහාර සහ ආරක්ෂාව ඇත්තේ කොතැනදැයි යන්නත් ඉගෙන ගනු ඇත. මේ ආකාරයෙන්, ජූනෝ ඇවිදීමට ගියත්, ඌ සෑම විටම අවසානයේ නිවසට පැමිණෙනවා ඇත.

අපි අපගේ සැබෑ නිවස නොදන්නේ නම්, යහපත්කම, ප්‍රේමය සහ අර්ථය සෙවීම සඳහා නිෂ්ඵල සෙවීමක සැරිසැරීමට අපි සදහටම පෙළඹෙන්නෙමු. කෙසේ වෙතත්, අපට අපගේ සැබෑ ජීවිතය සොයා ගැනීමට අවශ්‍ය නම්, “මා තුළ පැවතෙන්න” යැයි ස්වාමීන්වහන්සේ අපට උපදෙස් දෙන සේක (යොහන් 15:4). බයිබල් උගතෙක්වූ ෆ්‍රෙඩ්රික් ඩේල් බෲනර්, ‘රැඳෙනවා‘ (ඒ හා සමාන වාසස්ථානයක් වැනි) යන්නෙන් පවුල සහ නිවස පිළිබඳ හැඟීමක් ඇති කරන ආකාරය ඉස්මතු කරයි. ඒ අනුව බෲනර් යේසුස්වහන්සේගේ වචන මෙසේ පරිවර්තනය කරයි: “මා තුළ නිවසේ රැඳෙන්න” යනුවෙනි.

මෙම අදහස විස්තර කිරීම සඳහා යේසුස්වහන්සේ මිදි වැල සහ එහි අතු පිළිබඳ උපමාව භාවිතා කළ සේක. අතු ජීවත් වීමට අවශ්‍ය නම්, සෑම විටම නිවසේ සිටිමින් තමන් අයිති ස්ථානය තුළ ඇලී සිටිය යුතු වන්නේය.

අපගේ ගැටලු විසඳීමට හෝ අපට යම් නව “ප්‍රඥාවක්” හෝ ප්‍රීතිමත් අනාගතයක් ලබා දීමට පුහු පොරොන්දුවලින් අපව කැඳවන බොහෝ හඬවල් තිබේ. නමුත් අපි ඇත්තටම ජීවත් වෙන්න නම්, අප යේසුස්වහන්සේ තුළ රැඳී සිටිය යුතුයි. අපි නිවසේ සිටිය යුතු වන්නෙමු.