මට නාඳුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබුණේය. බොහෝ විට, මම එම ඇමතුම්වලට ‘හඬ පටිගතකිරීමට‘ යාමට ඉඩ දුන්නත් මෙවර මම කථා කළෙමි. අහඹු ලෙස කතා කළ මෙම පුද්ගලයා, කෙටි බයිබල් ඡේදයක් බෙදා ගැනීමට මට විනාඩියක් තිබේදැයි ආචාරශීලීව ඇසුවේය. දෙවියන්වහන්සේ “ඔවුන්ගේ දෑස්වලින් සියලු කඳුළු පිස දමන” ආකාරය ගැන ඔහු එළිදරව් 21:3-5 දක්වා කියෙව්වේය. ඔහු යේසුස්වහන්සේ ගැන කතා කළ අතර, උන්වහන්සේ අපේ සහතිකය සහ බලාපොරොත්තුව වුණේ කෙසේද කියා මෙම ඡේදයෙන් විස්තර කළේය. මම දැනටමත් යේසුස්වහන්සේ මගේ පෞද්ගලික ගැළවුම්කරු ලෙස හඳුනන්නෙමි කියා කීවෙමි. නමුත් ඇමතුම්කරු “සාක්ෂි” දැරීමට ඉලක්ක කළේ නැත. ඒ වෙනුවට ඔහුට මා සමඟ යාච්ඤා කළ හැකිද කියා සරලව ඇසුවේය. මට දිරිගැන්වීම සහ ශක්තිය ලබා දෙන පිණිස දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලුවේය.

එම ඇමතුම මට ශුද්ධ ලියවිල්ලේ ඇති තවත් “ඇමතුමක්” මතක් කර දුන්නේය – දෙවියන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ තරුණ සාමුවෙල්ට කතා කළේය (1 සාමුවෙල් 3:4-10). සාමුවෙල්ට තුන් වරක් ඇසුණු ඒ හඬ මහලු පූජක ඒලීගේ යයි ඔහු සිතුවේය. අන්තිම වතාවේදී, ඒලීගේ උපදෙස් අනුගමනය කරමින්, දෙවියන්වහන්සේ තමාට කතා කරන බව සාමුවෙල්ට වැටහුණි: “කථා කළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගෙන ඉන්නවායයි කීවේය.” (10 පදය). ඒ හා සමානව, දිවා රෑ පුරා දෙවියන්වහන්සේ අපට කතා කරනවා විය හැකිය. අප කළ යුත්තේ “දූරකථනයට” සවන් දීමය, එයින් අදහස් කරන්නේ උන්වහන්සේ ඉදිරියෙහි වැඩි කාලයක් ගත කිරීම සහ උන්වහන්සේගේ හඬට සවන් දීමයි.

පසුව මම “ඇමතුම” වෙනත් ආකාරයකින් සිතුවෙමි. සමහර විට අපි වෙනත් කෙනෙකුට දෙවියන්වහන්සේගේ වචනයේ දූතයා වන්නේ නම් කුමක් කළ යුතුද? අපිට වෙනත් අයට උදව් කරන්න ක්‍රමයක් නැතැයි කියා සිතිය හැකිය. නමුත් දෙවියන්වහන්සේ අපට මඟ පෙන්වන පරිදි, අපට මිතුරෙකුට දූරකථන ඇමතුමක් ලබා දී, “මට අද ඔබ සමඟ යාච්ඤා කිරීමට හැකිද?” කියා අසන්නට පුළුවනි.