ශුද්ධ වූ සතියට දින කිහිපයකට පෙර, ලොව පුරා සිටින කිතුනුවන් යේසුස්වහන්සේගේ පූජාව සිහිපත් කර උන්වහන්සේගේ නැවත නැඟිටීම සමරන දිනවලදී, නිරිතදිග ප්‍රංශයේ සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ත්‍රස්තවාදියෙකුගේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සාකච්ඡා කිරීමෙන් පසු ත්‍රස්තවාදියා එක් ප්‍රාණ ඇපකරුවෙකු හැර අන් සියල්ලන්ම නිදහස් කළ අතර ඔහුව මිනිස් පලිහක් බවට පත් කර ගත්තේය. අන්තරාය දැනගත් පොලිස් නිලධාරි අර්න්වුඩ් බෙල්ට්‍රමේ සිතාගත නොහැකි ක්‍රියාවක් කළේය: මිනිස් පලිහක් බවට පත් කළ කාන්තාවගේ ස්ථානය ගැනීමට ඔහු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. අපරාධකරු ඇයව නිදහස් කළ නමුත් පසුව ඇති වූ ගැටුමේදී බෙල්ට්‍රමේ තුවාල ලබා පසුව මිය ගියේය.

පොලිස් නිලධාරිතුමා හඳුනන දේවසේවකයෙක් ඔහුගේ වීරත්වය යේසුස්වහන්සේ කෙරෙහි වූ ඔහුගේ ඇදහිල්ලට ආරෝපණය කළේ යොහන් 15:13 හි යේසුස්වහන්සේගේ වචන පෙන්වා දෙමිනි. “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත”. මේ ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන් සමග අවසන් රාත්‍රී භෝජනය ගැනීමෙන් පසුව ඔවුන්ට පැවසූ වචන වේ. උන්වහන්සේ තම මිතුරන්ට පැවසුවේ “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය” (12 පදය). සහ ශ්‍රේෂ්ඨතම ප්‍රේමය වන්නේ කෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කිරීම (13 පදය) බවයි. යේසුස්වහන්සේ පසුදින ඉෂ්ඨ කළේ මෙයයි. එනම්, අපගේ පාපයෙන් අපව ගළවා ගැනීම සඳහා උන්වහන්සේට පමණක් කළ හැකි වූ කුරුසිපත් වීමෙනි.

අර්න්වුඩ් බෙල්ට්‍රමේගේ වීරත්වය අනුගමනය කිරීමට අපව කිසිදා කැඳවනු නොලබනවා විය හැක. නමුත් අප දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ රැඳී සිටිද්දී, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමයේ කතාව බෙදාගැනීමට අප උත්සාහ කරන විට අපගේ සැළසුම් සහ ආශාවන් පසෙක තබා අපට පරිත්‍යාගශීලීව අන්‍යයන්ට සේවය කළ හැකි වෙයි.