වනාන්තරයක් මැදින් දුවන ගමන් මම කෙටි මගක් සොයාගෙන නුහුරු පාරක ගියෙමි. මම අතරමං වෙලාද කියා සිතමින් මගේ විරුද්ධ පැත්තෙන් දුවමින් මා පසු කරමින් ගිය අයෙකුගෙන් මා ගමන් කරන මාර්ගය හරිද කියා විමසුවෙමි. ඔහු එයට “ඔව්,” කියා විශ්වාසයෙන් පිළිතුරු දුන්නේය. මගේ සැක සහිත පෙනුම දුටු ඔහු ඉක්මනින්ම මෙසේ පැවසීය: “කරදර වෙන්න එපා, මම වැරදි මාර්ග සියල්ලම උත්සාහ කර තිබේ! නමුත් කමක් නැහැ, ඒ සියල්ලම දිවීමේ කොටසක්”.

මගේ අධ්‍යාත්මික ගමන ගැන මොනතරම් උචිත විස්තරයක්ද! මම කොපමණ වාරයක් දෙවියන්වහන්සේගෙන් ඈත් වී, පරීක්ෂාවන්ට යටත් වී, ජීවිතයේ දේවල්වලින් අවධානය වෙනතකට යොමු කර තිබෙන්නේද? නමුත් මා නිසැකවම නැවත පැකිළෙන බව දැන ගෙන, දෙවියන්වහන්සේ සෑම අවස්ථාවකදීම මට සමාව දී මට ඉදිරියට යාමට උපකාර කළ සේක. වැරදි මාර්ගයක යාමට අපගේ නැඹුරුව දෙවියන්වහන්සේ දන්නා සේක. නමුත් අප අපගේ පව් පාපොච්චාරණය කර උන්වහන්සේගේ ආත්මයාණන්ට අපව පරිවර්තනය කිරීමට ඉඩ දුන් විට, නැවත නැවතත් සමාව දීමට උන්වහන්සේ සැමවිටම සූදානම් ව සිටින සේක.

මේ සියල්ල ඇදහිලි ගමනේ කොටසක් බව පාවුල් දැන සිටියේය. ඔහුගේ පව්කාර අතීතය සහ වර්තමාන දුර්වලතා ගැන ඔහු සම්පූර්ණයෙන් දැන සිටි හෙයින් ඔහු ආශා කළ ක්‍රිස්තුස්වහන්සේ හා සමාන පරිපූර්ණත්වය ලබා ගැනීමට තවමත් නොහැකි බව ඔහු දැන සිටියේය (පිලිප්පි 3:12). “නමුත් එකක් කරමි” ඔහු කීවේය. “පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් . . . දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි” (13-14 පද). පැකිලීම, දෙවියන්වහන්සේ සමඟ අපගේ ගමනේ කොටසකි: අපගේ වැරදි හරහා උන්වහන්සේ අපව පිරිපහදු කරන සේක. සමාව ලැබූ දරුවන් ලෙස ඉදිරියට යාමට උන්වහන්සේගේ කරුණාව අපට හැකියාව ලබා දෙන්නේය.