මේ වසන්තයේ “ජුරාසික් පාර්ක්” චිත්‍රපටයේ සේ අපේ ගෙවත්තේ වල් පැලෑටි අධික ලෙස වැවුණි. එක් පැළෑටියක් කොතරම් විශාල වීද යත්, මා එය උදුරා දැමීමට උත්සාහ කළ විට, මටම තුවාල වේ යැයි මම බිය වුණෙමි. එය කපා දැමීමට උදැල්ලක් සොයා ගැනීමට පෙර, මගේ දුව එයට ජලය වක්කරන බව මම දුටුවෙමි. “ඇයි ඔබ වල් පැළෑටි වලට වතුර දමන්නේ?!” කියා මම කෑගැසුවෙමි. “එය කොච්චර ලොකු වෙයිද කියලා මට බලන්න ඕනේ!” යැයි ඇය සිනහ මුසු මුහුණකින් පිළිතුරු දුන්නාය.

වල් පැලෑටි අපි හිතාමතා පෝෂණය කරන දෙයක් නොවේ. නමුත් මම ඒ ගැන වැඩි දුර කල්පනා කළ විට, සමහර අවස්ථාවලදී අපි අපගේ අධ්‍යාත්මික ජීවිතයේ “වල් පැළෑටි” වලට ජලය දමමින්, අපගේ ආශාවන් පෝෂණය කර, අපගේ වර්ධනය හිර කරන බව මට වැටහුණි.

පාවුල් මේ ගැන ගලාති 5:13-26 හි ලියයි, එහිදී ඔහු මාංසය අනුව ජීවත් වීම සහ ආත්මයෙන් ජීවත් වීම යන දෙක අතර සංසන්දනය කරයි. නීති රීති අනුගමනය කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් අප අපේක්ෂා කරන ආකාරයේ “වල් පැළෑටි වලින් තොර” ජීවිතයක් ඇති කර ගත නොහැකි බව ඔහු පවසයි. ඒ වෙනුවට, වල් පැළෑටිවලට ජලය දැමීමෙන් වැළකී “ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න” කියා ඔහු උපදෙස් දෙන්නේය. “මාංසයේ තෘෂ්ණා සම්පුර්ණ කරන්නේ නැතැයි” යන ආවේගයෙන් අපව නිදහස් කරනු ලබන්නේ දෙවියන්වහන්සේ සමග නිතිපතා එකට ගමන් කිරීම බව ඔහු වැඩිදුරටත් පවසන්නේය (16 පදය).
පාවුල්ගේ ඉගැන්වීම සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම ජීවිත කාලය පුරාම කළ යුතු ක්‍රියාවලියකි. නමුත් මම ඔහුගේ මඟ පෙන්වීමේ සරලත්වයට කැමත්තක් දක්වමි: ස්වයං කේන්ද්‍ර කරගත් ආශාවන් පෝෂණය කිරීමෙන් අනවශ්‍ය දෙයක් වර්ධනය කරනවා වෙනුවට, අපි දෙවියන්වහන්සේ සමඟ අපගේ සබඳතාව ගොඩනංවන විට, අපි ඵල වගා කර දේවභක්තික ජීවිතයක අස්වැන්න නෙළා ගනිමු (22-25 පද).