හැන්සල් පාච්මන්ට් සිටියේ අසීරු තත්ත්වයක ය. ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව තරඟය සඳහා වැරදි ස්ථානයකට යන බසයට නැග ගත් අතර නියමිත වේලාවට ක්‍රීඩාංගනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැතිව අතරමං විය. නමුත් ස්තුතිවන්ත වන්නට ක්‍රීඩා වලට උදව් කරන ස්වේච්ඡා සේවිකාවක් වන ට්‍රිජානා ස්ටොජ්කොවික් ඔහුට හමුවිය. ඇය ඔහුට කුලී රථයකින් යාමට මුදල් ස්වල්පයක් දුන්නාය. පාච්මන්ට් නියමිත වේලාවට අවසන් පූර්ව වටයට පිවිසි අතර අවසානයේ මීටර් 110 කඩුලු පැනීමේ තරඟයේ රන් පදක්කම දිනා ගත්තේය. පසුව, ඔහු නැවත ස්ටොජ්කොවික් සොයා ගොස් ඇයගේ කරුණාවට ස්තුති කළේය.

ලූක් 17 හි, යේසුස්වහන්සේ තමන්ව සුව කිරීම ගැන ස්තුති කිරීමට නැවත පැමිණි සමාරිතානු ලාදුරු රෝගියා ගැන අපි කියවන්නෙමු (15-16 පද). යේසුස්වහන්සේ ගමකට ඇතුළු වූ අතර එහිදී උන්වහන්සේට ලාදුරු රෝගීන් දස දෙනෙකු හමු විය. ඔවුන් සියල්ලෝම යේසුස්වහන්සේගෙන් සුවය ඉල්ලා සිටි අතර, ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ කරුණාව සහ බලය අත්විඳින ලදී. ඔවුන් සුවය ලැබීම ගැන දස දෙනාම සතුටු වූ නමුත් තම කෘතඥතාව පළ කිරීමට නැවත හැරී ස්වාමින්වහන්සේ වෙතට පැමිණියේ එක් අයෙක් පමණි. ඔහු “මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්, උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය” (15-16 පද).

සෑම දිනකම, අපි විවිධ ආකාරවලින් දෙවියන්වහන්සේගේ ආශීර්වාද අත්දකිමු. එය දිගු කලක් දුක් විඳීමෙන් පසු හෝ ආගන්තුකයෙකුගෙන් කාලෝචිත උපකාරයක් ලැබීමට පිළිතුරු දුන් යාච්ඤාවක් මෙන් නාට්‍යාකාර විය හැකිය. සමහර විට, එළිමහන් කාර්යක් ඉටු කිරීම සඳහා හොඳ කාලගුණයක් වැනි සාමාන්‍ය ක්‍රමවලින් ද උන්වහන්සේගේ ආශීර්වාද ලැබිය හැකිය. සමාරිතානු ලාදුරු රෝගියා මෙන්, දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන කරුණාවන් සඳහා ස්තූති කිරීමට මතක තබා ගනිමු.