කැටයම් කළ ලී රූපයක් – ගෘහ දෙවියෙක් – එකුවා නම් කාන්තාවකගෙන් සොරකම් කර ඇති නිසා ඇය එය බලධාරීන්ට දන්වා සිටියාය. ඔවුන් පිළිමය සොයා ගත් බව විශ්වාස කළ පොලිස් නිලධාරීන් එය හඳුනා ගැනීමට ඇයට ආරාධනා කළෝය. “මේ ඔබගේ දෙවියන්ද?” කියා ඔවුන් ඇසුවෝය. ඇය හැඟීම් බරව “නැහැ, මගේ දෙවියන් ඊට වඩා විශාලයි සහ ඊටත් වඩා ලස්සනයි” යැයි කීවාය.

මිනිසුන් තම දේවත්වය පිළිබඳ සංකල්පයට හැඩයක් ලබා දීමට බොහෝ කලක සිට උත්සාහ කර ඇති අතර, ඔවුන්ව ආරක්ෂා කිරීමට අතින් සාදන ලද දෙවියෙකු අපේක්ෂා කරති. යාකොබ්ගේ බිරිඳ වන රාඛෙල් ලාබන්ගෙන් පලා යන විට “ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම් කර ගත්තාය” (උත්පත්ති 31:19) යනුවෙන් දැක්වෙන්නේ ඒ නිසා විය හැකිය. යාකොබ් ගේ කඳවුරේ පිළිම සඟවා තිබුණද, දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ හස්තය යාකොබ් මත තබා තිබූ සේක (34 පදය).

පසුව, එම ගමනේදීම, යාකොබ් මුළු රාත්‍රිය පුරාම “මිනිසෙකු” සමඟ පොරබැදුවේය (32:24). මෙම ප්‍රතිවාදියා සාමාන්‍ය මිනිසකු නොවන බව ඔහු තේරුම් ගන්නට ඇත, මන්ද යත් පහන් වෙන කාලයේ යාකොබ් තරයේ කියා සිටියේ “ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි” යනුවෙනි (26 පදය). මිනිසා ඔහුට ඉශ්‍රායෙල් (“දෙවියන්වහන්සේ සටන් කරන සේක”) යන නම තැබූ අතර පසුව ඔහුට ආශීර්වාද කළේය (28-29 පද). යාකොබ් එම ස්ථානය හැඳින්වූයේ පෙනීයේල් (“දෙවියන්වහන්සේගේ මුහුණ”) යනුවෙනි, “මක්නිසාද මම මුහුණට මුහුණලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරු වී යයි ඔහු කීවේය” (30 පදය).

මේ දෙවියන් එනම් එකම සැබෑ දෙවියන්වහන්සේ එකුවාට කිසිදා සිතාගත නොහැකි තරම් විශාල හා ඉතා අලංකාර වන්නේය. උන්වහන්සේව කැටයම් කිරීමටවත්, සොරකම් කිරීමටවත් හෝ සැඟවීමටවත් නොහැකිය. එහෙත්, එදින රාත්‍රියේ යාකොබ් ඉගෙනගත් පරිදි, අපට උන්වහන්සේ වෙත ළඟා විය හැක! මෙම දෙවියන්වහන්සේව “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි” (මතෙව් 6:9) යනුවෙන් අමතන්නට යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූ සේක.