සමහර විට, නිදන්ගත වේදනාව සහ තෙහෙට්ටුව සමඟ ජීවත් වීම නිවසේ හුදකලා වීමට සහ තනිකම දැනීමට හේතු වේ. දෙවියන්වහන්සේට සහ වෙනත් අයට මාව නොපෙනෙන බව බොහෝ විට මට දැනී ඇත. මගේ සුනඛයා සමඟ උදෑසන යාච්ඤා පා ගමනකදී, මම මෙම හැඟීම් සමඟ පොරබදමින් සිටියෙමි. මම ඈතින් උණුසුම් වායු බැලූනයක් දුටුවෙමි. එහි කූඩයේ සිටි මිනිසුන්ට අපගේ නිස්කලංක අසල්වැසි ප්‍රදේශය, පියඹා යන කුරුල්ලන්ගේ ඇසින් මෙන් දැක ගත හැකි වුවද, ඇත්තෙන්ම ඔවුන්ට මා දැකිය නොහැකි විය. මම මගේ අසල්වාසීන්ගේ නිවෙස් පසුකර යද්දී සුසුම්ලමින් සිටියෙමි. ඒ වැසුණු දොරවල් පිටුපස සිටින කීදෙනෙක් නොපෙනී, නොවැදගත් යැයි ඇතිවන හැඟීම් සමඟ තනිකමෙන් ජීවත් වෙනවා ඇද්ද? මම මගේ පා ගමන අවසන් කරමින්, මම ඔවුන්ව දකින බවත් ඔවුන්ට සළකන බවත් ඔබවහන්සේත් එසේම කරන බවත් මගේ අසල්වැසියන්ට දැන ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි.

දෙවියන්වහන්සේ තමාගේ වචනයෙන් මැවූ තාරකා ගණන නියම කළ සේක. උන්වහන්සේ සෑම තරුවකටම නමක් දුන් සේක (ගීතාවලිය 147:4), කුඩාම තොරතුරු වෙත පවා උන්වහන්සේගේ අවධානය යොමු කරන බව අඟවන සමීප ක්‍රියාවකි. උන්වහන්සේගේ ශක්තිය – තීක්ෂණ බුද්ධිය, වටහා ගැනීමේ ශක්තිය සහ දැනුම – අතීතයේ, වර්තමානයේ හෝ අනාගතයේදී වුවද “සීමාවක් නැත” (5 පදය).

දෙවියන්වහන්සේ තෘප්තිමත් බව සහ අධික ප්‍රීතිමත් සිනහව දකිනවාක් මෙන්ම, සෑම මංමුලා සහගත හැඬීමකටම සවන් දෙන අතර සෑම නිහඬ කඳුලක්ම පැහැදිලිව දකින සේක. අප පැකිළෙන විට සහ අප ජයග්‍රාහී ලෙස සිටගෙන සිටින විට උන්වහන්සේ දකින සේක. උන්වහන්සේ අපගේ ගැඹුරු බිය, අපගේ අභ්‍යන්තර සිතුවිලි සහ අපගේ පුළුල් සිහින තේරුම් ගන්නා සේක. අප ගිය ස්ථාන සහ අප යන්නේ කොතැනටද කියා උන්වහන්සේ දන්නා සේක. අපගේ අසල්වාසීන්ව දැකීමට, ඇසීමට සහ ප්‍රේම කිරීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන්නාක් මෙන් අපව දැකීමට, තේරුම් ගැනීමට සහ අපව රැකබලා ගැනීමට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැක.