ජෙෆ්ට වයස අවුරුදු දාහතරක් වන විට ඔහුගේ මව ඔහුව ප්‍රසිද්ධ ගායකයෙකු හමුවීමට රැගෙන ගියාය. ඔහුගේ යුගයේ බොහෝ සංගීතඥයන් මෙන්, බී. ජේ. තෝමස් නමැති ගායකයා සංගීත චාරිකාවල යෙදී සිටියදී විනාශකාරී ජීවන රටාවකට හසු වී සිටියේය. නමුත් එය සිදු වී තිබුණේ ඔහු සහ ඔහුගේ බිරිඳට යේසුස්වහන්සේව හඳුන්වා දීමට පෙරයි. ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ විට ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් විය.

ප්‍රසංගය පැවති රාත්‍රියේ ගායකයා උද්යෝගිමත් පිරිසව තම සංගීතයෙන් විනෝද වන්න සැළැස්වීය. නමුත් ඔහුගේ සුප්‍රසිද්ධ ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසු, එක් පුද්ගලයෙක් ප්‍රේක්ෂකාගාරයේ සිට කෑගසමින්, “හේයි, යේසුස් වහන්සේට එක් ගීතයක් ගායනා කරන්න!” කියා කිවේය. කිසිදු පැකිලීමකින් තොරව, බී. ජේ. ප්‍රතිචාර දැක්වූයේ, “මම දැන් යේසුස්වහන්සේ වෙනුවෙන් ගීත හතරක් ගායනා කළා” යනුවෙන් කියමිනි.

එදා සිට දශක කිහිපයක් ගත වී තිබුණත්, අපි කරන සෑම දෙයක්ම එනම්, සමහරු “ආගමික නොවන” යැයි සිතිය හැකි දේවල් පවා යේසුස්වහන්සේ වෙනුවෙන් විය යුතු බව තේරුම් ගත් ඒ මොහොත ජෙෆ්ට තවමත් මතකය.

අපි සමහර විට ජීවිතයේ කරන දේවල් වෙන් කර ගැනීමට පෙළඹෙන්නෙමු. එනම්, බයිබලය කියවීමෙන්, ඇදහිල්ලට පැමිණීම පිළිබඳ අපගේ කතාව බෙදා ගැනීමෙන්, ගීතිකාවක් ගායනා කිරීමෙන් යනාදිය ආත්මික ලෙස හඳුන්වනු ලබන්නෙමු. තණකොළ කැපීම, ව්‍යායාම් වල යෙදීම, ගුවන් විදුලියෙන් වාදනය වූ ගීතයක් ගායනා කිරීම යනාදිය ලෞකික ලෙස අපි හඳුන්වමු.

කොලොස්සි 3:16 අපට මතක් කර දෙන්නේ ගායනය, ඉගැන්වීම, සහ ස්තුතිවන්ත වීම වැනි ක්‍රියාකාරකම් මගින් ක්‍රිස්තුස්වහන්සේගේ පණිවුඩය අප තුළ වාසය කරන බවයි, නමුත් 17 වැනි පදය ඊටත් වඩා ඉදිරියට යයි. දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන්, ”නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරන” ලෙසට එය අවධාරණය කරයි.

අපි ඒ සියල්ල කරන්නේ යේසුස්වහන්සේ වෙනුවෙන්ය.