ඇල්බට් අයින්ස්ටයින්ගේ දේශන චාරිකාවේ තවත් නැවතුමකින් පසු, ඔහුගේ රියදුරු සඳහන් කළේ තමා එම දේශනය ප්‍රමාණවත් තරම් අසා ඇති බවත් එම දේශනය ඔහුටද කළ හැකි බවත්ය. ඔහුගේ පින්තූරය කිසිවෙකු දැක නොතිබූ බැවින් ඊළඟ විද්‍යාලයේදී ඔබ මා හැටියට පෙනී සිටින්න කියා අයින්ස්ටයින් රියදුරුට යෝජනා කළේය. රියදුරු එකඟ වී හොඳ දේශනයක් කළේය. ඉන් අනතුරුව ප්‍රශ්නෝත්තර කාලය එළඹුණි. එක් කලහකාරී විමසුම්කරුවෙකුට, රියදුරු පිළිතුරු දුන්නේ මෙසේය, “ඔබ දක්ෂ මහාචාර්යවරයෙක් බව මට පෙනේ, නමුත් මගේ රියදුරුට පවා පිළිතුරු දිය හැකි තරම් සරල ප්‍රශ්නයක් ඔබ ඇසීම ගැන මම පුදුම වෙමි.” එවිට ඔහුගේ “රියදුරු” – ඇල්බට් අයින්ස්ටයින්ම – එයට පිළිතුරු දුන්නේය! ඉතින් විනෝදජනක නමුත් මිථ්‍යා කතාව අවසන් විය.

දානියෙල්ගේ නිර්භීත මිතුරන් තිදෙනා සැබවින්ම ඉතා අමාරු අවස්ථාවකට මුහුණ දුන්හ. තම පිළිමයට නමස්කාර නොකළහොත් ඔවුන්ව ගිනි උදුනකට දමන බවට නෙබුකද්නෙශර් රජු තර්ජනය කළේය. “එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි” කියා ඔහු ඇසුවේය (දානියෙල් 3:15). මිතුරන් තවමත් හිස නැමීම ප්‍රතික්ෂේප කළ නිසා රජු උදුන හත් ගුණයකින් රත් කර එය තුළට ඔවුන්ව විසි කළේය.

ඔවුන් තනිවම ගියේ නැත. “උන්වහන්සේගේ දූතයා” (28 පදය) සමහරවිට යේසුස්වහන්සේම ඔවුන් සමඟ ගින්න තුළදී සම්බන්ධ වූයේ ඔවුන්ව අනතුරෙන් ආරක්ෂා කර, රජුගේ ප්‍රශ්නයට ප්‍රතික්ෂේප කළ නොහැකි පිළිතුරක් ලබා දීමටය (24-25 පදය). නෙබුකද්නෙශර් “ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝගේ දෙවියන්වහන්සේට” ප්‍රශංසා කළ අතර,” මේ ආකාරයෙන් ගළවා ගන්ට පුලුවන් වූ වෙන දෙවිකෙනෙක් නැතැයි” පිළිගත්තේය (28-29 පදය).

සමහර අවස්ථාවලදී ඉවත් විය නොහැකි දුෂ්කර තත්ත්වයකට අපට සම්බන්ධ වීමට සිදුවේ. නමුත් යේසුස්වහන්සේ, උන්වහන්සේට සේවය කරන අය සමඟ සිටින සේක. උන්වහන්සේ අපව ඔසවා ගෙන යන සේක.