අනූ හතර හැවිරිදි ජර්මානු දේවධර්මාචාර්ය ජර්ගන් මෝල්ට්මාන් විසින් ලියන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබඳ පොතක් පිළිබඳව සාකච්ඡාව අතරතුර, සම්මුඛ පරීක්ෂකයෙක් ඔහුගෙන් මෙසේ ඇසීය: “ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේව සක්‍රීය කරන්නේ කෙසේද? ඔබට පෙත්තක් ලෙස ගත හැකිද? ඖෂධ සමාගම් (ආත්මයාණන්ව) බෙදා හරිනවාද?” මෝල්ට්මන්ගේ ඝන ඇස් බැමි ඉහළ ගියේය. හිස වනමින් සිනහසෙමින් ඉංග්‍රීසි භාෂා ස්වරාන්කූලව උච්චාරණය කරමින් ඔහු පිළිතුරු දුන්නේ මෙසේය. “මට කළ හැක්කේ කුමක් ද? කිසිවක් නොකරන්නෙමි. ආත්මයාණන් කෙරෙහි රැඳී සිටින්න, එවිට ආත්මයාණන් පැමිණෙනු ඇත” යනුවෙනි.

දේවල් සිදුවන්නේ අපගේ ශක්තිය සහ විශේෂඥතාව තුළින් බවට වූ අපගේ වැරදි විශ්වාසය දේවධර්මාචාර්ය මෝල්ට්මාන් ඉස්මතු කළේය. දෙවියන්වහන්සේ දේවල් සිදුවන්න සළස්වන බව ක්‍රියා පොත හෙළි කරයි. සභාවේ ආරම්භයේ දී, එයට මානව උපාය මාර්ගය හෝ ආකර්ෂණීය නායකත්වය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ඒ වෙනුවට, ආත්මයාණෝ “තද සුළඟක් හමන්නාක් මෙන්” බියට පත් වූ, අසරණ වූ සහ ව්‍යාකූල වූ ගෝලයන් සිටි කාමරයකට පැමිණි සේක (2:2). මීළඟට, ආත්මයාණන් විසින් සියලු වාර්ගික උත්තරීතරයන් සුනුවිසුනු කළේ එක් නව ප්‍රජාවකට එයටම විරුද්ධ වූ මිනිසුන් එකතු කිරීමෙනි. දෙවියන්වහන්සේ ඔවුන් තුළ කරමින් සිටින දේ දැකීමෙන් ගෝලයන්ද අන් අය මෙන්ම කම්පනයට පත් වූහ. ඔවුන් කිසිවක් සිදු කළේ නැත; “ආත්මයාණන් ඔවුන්ට කථා කරන්ට පුළුවන්කම” දුන් සේක (4 පදය).

සභාව – සහ ලෝකයේ අපගේ හවුල් වැඩ – අපට කළ හැකි දේ මගින් නිර්වචනය කර නැත. අපි සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ආත්මයාණන්ට පමණක් කළ හැකි දේ මතය. මෙය අපට නිර්භීතව හා විවේකීව සිටීමට ඉඩ සලසයි. මේ දවසේදී එනම් අපි පෙන්තකොස්ත දිනය සමරන දවසේදී අපි ආත්මයාණන් වහන්සේ එනතෙක් බලා සිටිමින් ප්‍රතිචාර දක්වමු.