ඇන්ජෙලාගේ පවුලේ අය සති හතරක් තුළ වියෝවීම් තුනක් අත්විඳි අතර ඔවුන් ශෝකයෙන් පෙළුණෝය. තමන්ගේ ඥාති පුතාගේ හදිසි මරණයෙන් පසු, ඇන්ජලා සහ ඇගේ සහෝදරියන් දෙදෙනා දින තුනක් මුළුතැන්ගෙයි මේසය වටා රැස්ව සිටි අතර, පිටතට ගියේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට බදුනක් මිළදී ගැනීමට, පිටතට ගොස් කෑම ගැනීමට සහ අවමංගල්‍යයට සහභාගී වීමට පමණි. ඔහුගේ මරණය ගැන ඔවුන් හඬා වැටුණු අතර, ඔවුන්ගේ බාල සොහොයුරියගේ කුස තුළ දරුවෙක් වර්ධනය වීමේ ස්කෑන් ඡායාරූප දෙස බලා සතුටු වූහ.

කාලයාගේ ඇවෑමෙන්, ඇන්ජෙලාට සහනයක් සහ බලාපොරොත්තුවක් ලැබුණේ පැරණි ගිවිසුමේ එස්රා පොතෙනි. බබිලෝනිවරුන් දේවමාලිගාව විනාශ කර ඔවුන්ගේ ප්‍රේමණීය නගරයෙන් ඔවුන්ව පිටුවහල් කළ පසු දෙවියන්වහන්සේගේ සෙනඟ යෙරුසලමට ආපසු පැමිණීම ගැන එය විස්තර කරයි (එස්රා 1 වන පරිච්ජේදය බලන්න). දේවමාලිගාව නැවත ගොඩනඟන ආකාරය එස්රා බලා සිටියදී, දෙවියන්වහන්සේට ප්‍රීතිමත් ප්‍රශංසා කිරීම් ඔහුට ඇසිණි (3:10-11). නමුත් පිටුවහල් කිරීමට පෙර ජීවිතය සිහිපත් කළ අයගේ හැඬීමටද ඔහු සවන් දුන්නේය (12 පදය).

එක් පදයක් විශේෂයෙන්ම ඇන්ජෙලාට සැනසීම ලබා දුනි: “මෙසේ ප්‍රීති-ඝෝෂාවේ ශබ්දය මේකය, සෙනඟගේ ඇඬිමේ ශබ්දය මේකයයි සෙනඟට වෙන් වෙන් වශයෙන් දැනගත නොහැකි විය. මක්නිසාද සෙනග මහත් ඝෝෂාවකින් ඝෝෂා කළෝය” (13 පදය). තමා දැඩි ශෝකයේ ගිලී සිටියත් ප්‍රීතිය තවමත් මතුවිය හැකි බව ඇයට වැටහුණි.

අපිත් ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව ගැන ශෝක වනවා විය හැකිය, නැතහොත් වෙනස් හේතුවකට දුක් වීමට පුළුවනි. එසේ නම්, දෙවියන්වහන්සේ අපට ඇහුම්කන් දී අපව උන්වහන්සේගේ දෑතින් එක්රැස් කරන බව දැන, දෙවියන්වහන්සේ වෙනුවෙන් වූ අපගේ ප්‍රීතිමත් අවස්ථාවන් සමඟ අපගේ වේදනාවේ හැඬීමද උන්වහන්සේට ප්‍රකාශ කළ හැකිය.