යෞවනියගේ මුහුණින් කෝපය සහ ලැජ්ජාව පිළිඹිබු විය. 2022 ශීත සෘතු ඔලිම්පික් තරඟවලට සුදානම් වෙද්දී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකාවක් ලෙස ඇගේ සාර්ථකත්වයට සම කිරීමට කිසිවෙකුට නොහැකි විය. තරඟාවලි කිහිපයකින් ඇය රන් පදක්කමකට හිමිකාරියක් වනු ඇතැයි බලාපොරොත්තු ඉස්මතු කළාය. නමුත් පරීක්‍ෂණයකින් තහවුරු වූයේ ඇගේ ශරීරයේ තහනම් උත්තේජනයක් ඇති බවයි. බලාපොරොත්තු වල සහ චෝදනාවල විශාල බරකින් තෙරපී සිටි ඇය නිදහස් හිම මත ලිස්සා යාමේ වැඩ සටහනේදී බොහෝ වරක් ඇද වැටුණාය. ඇය ජයග්‍රහයකයන්ගේ වේදිකාවේ නොසිටියාය. පදක්කමක්ද නැත. චෝදනාවට පෙර ඇය අයිස් මත කලාත්මක නිදහස සහ නිර්මාණශීලිත්වය ප්‍රදර්ශනය කළ නමුත් නීතියක් කැඩූ බවට වූ චෝදනාවක් ඇගේ සිහින පොඩි කර දැමුවේය.

මනුෂ්‍ය වර්ගයාගේ මුල් දින වල සිටම අපගේ නිදහස් කැමැත්ත භාවිතා කිරීමේදී දැක්විය යුතු කීකරුකම දෙවියන්වහන්සේ එළිදරව් කළ සේක. ආදම් සහ ඒවටත් අප සියලු දෙනාටත් අකීකරුකම විනාශකාරී බලපෑම් ඇති කර තිබේ. ඒ අපගේ ලෝකයට බිඳුණුකම සහ මරණය ගෙන ආවේ පාපය නිසාය (උත්පත්ති 3:6-19). එය එලෙස විය යුතුව නොතිබුණි. දෙවියන්වහන්සේ ආදම්ට පැවසුවේ එක ගසකින් හැර “නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන” කියාය (2:16-17). ඔවුන්ගේ “ඇස් ඇරෙන බවත් …. යහපත සහ නපුර දැන ගෙන දෙවියන්වහන්සේට සමාන” වන්නේය කියාත් සිතමින් ඔවුහු තහනම් කරන ලද “යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන්” කෑවෝය (3:5 සහ 2:17). පාපය, ලැජ්ජාව සහ මරණය එය පසුපසින් පැමිණියේය.

අපට සතුටු වීම පිණිස නිදහසද බොහෝ යහපත් දේවල්ද දෙවියන්වහන්සේ මහත් අනුග්‍රහයෙන් සපයන සේක (යොහන් 10:10). උන්වහන්සේ ප්‍රේමයෙන් අපව කැඳවන්නේ අපගේ යහපත උදෙසා උන්වහන්සේට කීකරු වන ලෙසය. කීකරුකම තෝරා ගෙන ප්‍රීතියෙන් පිරී, ලැජ්ජාවෙන් තොර ජීවිතයක් තෝරා ගැනීමට උන්වහන්සේ අපට උපකාරී වන සේක්වා.