විශාල කුණාටු සුළං නිසා බලවත් මිසිසිපි ගංගාවේ ගලා බැසීම වෙනස් වූ විට කළ නොහැකි දේවල් සිදු විය. 2021 අගෝස්තු මාසයේ අයිඩා සුළි කුණාටුව ලුයිසානා වෙරළට පැමිණි විට එහි ප්‍රතිඵලය වූයේ “සෘණාත්මක ජල ගලා” බැසීමකි. එහි අර්ථය නම් පැය කිහිපයකට ජලය උඩු අතට ගලා ගිය බවයි.

විශේෂඥයින් ගණන් බලා පැවසුවේ සුළි කුණාටුවක් පවතින කාලය තුළ න්‍යෂ්ටික බෝම්බ දහ දහකට සමාන ශක්තියක් එයට නිපදවිය හැකි බවයි. ගලා යන ජලයේ මග වෙනස් කරන එවැනි ශ්‍රේෂ්ඨ බලයක් මට තේරුම් කර දෙන්නේ නික්මයාම පොතෙහි සඳහන් ඊට වඩා බොහෝ වෙනස් “සෘණාත්මක ජලය බැසයාමකට” ඉශ්‍රායෙල්වරුන්ගේ ප්‍රතිචාරයයි.

වසර සිය ගණනක් ඔවුන්ව වහලුන් කර ගෙන සිටි මිසරවරුන්ගෙන් පලා යන අතර ඉශ්‍රායෙල්වරු රතු මුහුදේ මායිමට පැමිණියහ. ඔවුන් ඉදිරියෙහි විශාල ජල ස්කන්ධයක් විය. ඔවුන් පසු පසින් දැඩිව සන්නද්ධ වී සිටි මිසර හමුදාවයි. කිසිවක් කර කියා ගත නොහැකි ලෙසට පෙණුනු එම අවස්ථාවේදී ස්වාමින්වහන්සේ “බලවත් වූ නැගෙනහිර සුළඟක් කරණ කොට ගෙන මුහුද ආපසු යන්ට සළස්වා මුහුද ගොඩබිමක් කළ සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට ….” මුහුද තරණය කළහ (නික්මයාම 14:21-22). බලයේ විස්මිත ප්‍රදර්ශනයකින් මිදීම ලැබූ “සෙනග ස්වාමින්වහන්සේට බය” වූහ (31 පදය).

දෙවියන්වහන්සේගේ විස්මිත බලය අත්දකින විට බියෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම සාමාන්‍යය දෙයකි. නමුත් එයින් නොනැවතුණි. ඉහ්‍රායෙල්වරු උන්වහන්සේ කෙරෙහි “විශ්වාස කළෝය” (31 පදය).

මැවීමේ ඇති දෙවියන්වහන්සේගේ බලය අප අත් දකින විට අපටද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය ගැන මවිතව උන්වහන්සේ මත අපගේ විශ්වාසය තැබිය හැකිය.