එය යෞවන කණ්ඩායමේ විනෝද ක්‍රීඩාවක් පමණක් වූවත් එය අපට පාඩමක් කියා දුනි. ඒ නම් අසල්වාසීන් මාරු කරනවාට වඩා ඔබට සිටින අසල්වාසීන්ට ප්‍රේම කිරීමට ඉගෙන ගැනීමයි. රවුම මැද සිටගෙන සිටින කෙනා හැර සෑම දෙනාම රවුමට වාඩිවී සිටිති. සිටගෙන සිටින කෙනා වාඩිවී සිටින කෙනෙක්ගෙන් “ඔබගේ අසල්වැසියාට ප්‍රේම කරනවාද” කියා අසන්නේය. වාඩිවී සිටින අයට දෙආකාරයකින් පිළිතුර සැපයිය හැකිය. ඔව් හෝ නැහැ යනුවෙනි. තම අසල්වැසියාව වෙනත් කෙනෙකු සමග මාරු කරගන්නවාද කියා ඔහු තීරණය කළ යුතු වේ.

අපගේ සත්‍ය ජීවිතයේත් අපට “අසල්වාසීන්” මාරු කර ගැනීමට හැකිදැයි අප සිතනවා නොවේද? විශේෂයෙන් අපි අකමැති හවුල් සේවකයෙක් හෝ අවේලාවල් වල තණකොළ කපන්න ප්‍රිය කරන අසල්වාසියෙක් හෝ මාරු කර ගැනීමට අපි සිතන්නෙමු. කෙසේ වෙතත් බොහෝ විට අසීරු අසල්වාසීන් සමග ජීවත්වීමට අපි ඉගෙන ගත යුතු වන්නෙමු.

ඉශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට සංක්‍රමණය වූ විට දෙවියන්වහන්සේගේ සෙනග ලෙස ඔවුන් ජීවත් විය යුත්තේ කෙසේදැයි යන්නට වැදගත් උපදෙස් උන්වහන්සේ ඔවුන්ට ලබා දුන් සේක. “නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යයි ඔවුන්ට කී සේක (ලෙවී කථාව 19:18). එයට ඕපාදූප නොපැතිරවීම, අසල්වාසින්ගෙන් අයුතු ප්‍රයෝජන නොගැනීම සහ ඔවුන්ට විරුද්ධව යමක් ඇත්නම් ඔවුන්ට සෘජුව කථා කිරීමද ඇතුළත්ය (9-18).

සැමට ප්‍රේම කිරීම අසීරු වූවත් යේසුස්වහන්සේ අප තුළ සහ අප මගින් සේවය කරන හෙයින් අන් අයට ප්‍රේමයෙන් සැළකීමට අපට හැකි වන්නේය. උන්වහන්සේගේ සෙනග ලෙස අපගේ අනන්‍යතාවය ලෙසින් ජීවත් වීමට අප සොයන විට දෙවියන්වහන්සේ අපට අවශ්‍ය ප්‍රඥාව සහ හැකියාව ලබා දෙන සේක.