පසුව දුක් වූ යමක් ඔබ කෝපයෙන් කර ඇද්ද? මාගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පොර බදින විට ඔහුගේ තෝරා ගැනීම්වලට විරුද්ධව මම දරුණු දේවල් පැවසුවෙමි. සිදුවූයේ මගේ කෝපය ඔහුව තවදුරටත් අධෛර්යයට පත් කිරීම පමණි. අවසානයේදී ඔහුට ජීවනය සහ බලාපොරොත්තුව ප්‍රකාශ කළ ඇදහිලිවතුන් ඔහුට හමු වූ අතර කාලයක් යන විට ඔහු නිදහස ලැබුවේය.

පසුව පසුතැවිලි වූ යමක් මෝසෙස් වැනි ආදර්ශමත් ඇදහිල්ලක් තිබූ අයෙකු පවා කළේය. ඉශ්‍රායෙල් සෙනග කාන්තාරයේ සිටින අතර ජලය හිඟ වූ විට ඔව්හු දරුණු ලෙස පැමිණිළි කළහ. එසේ හෙයින් දෙවියන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට විශේෂිත උපදෙස් දුන් සේක “පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථා කරන්න” (ගණන් කථාව 20:8). නමුත් දෙවියන්වහන්සේට ගෞරවය නොදී තමාට සහ ආරොන්ට ගෞරවය ලබා ගනිමින් මෝසෙස් කෝපයෙන් ප්‍රතික්‍රියා කළේය. “කැරළිකාරයිනි, අසන්න. අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටද?” (10 පදය). ඉන්පසුව ඔහු දෙවියන්වහන්සේට සෘජුවම අකීකරු වී “තමාගේ අත ඔසවා දෙවරක් පර්වතයට ගැසිය” (11 පදය).

වතුර ගලා ආවත් එහි භයානක ප්‍රතිවිපාකයන් තිබුණි. දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ සෙනගට පොරොන්දු වූ දේශයට මෝසෙස්ටවත් ආරොන්ටවත් ඇතුල් වීමට ඉඩ ලැබුණේ නැත. එහෙත් උන්වහන්සේ තවමත් කරුණාවන්ත වූයේ ඈතින් සිට මෝසෙස්ට එය දැකීමට ඉඩ ලබා දෙමිනි (27:12-13).

අපගේ අකීකරුකමේ කාන්තාරයේදී පවා දෙවියන්වහන්සේ තවමත් මෝසෙස්ට මෙන් කරුණාවෙන් අපව හමුවන සේක. යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමෙන් උන්වහන්සේ දයාවෙන් යුතුව අපට සමාව සහ බලාපොරොත්තුව දෙන සේක. අප කොහේ සිටියත් කුමක් කළත් අප නැවත උන්වහන්සේ වෙත හැරෙන්නේ නම් උන්වහන්සේ ජීවනය කරා අපව යොමු කරන සේක.