මුළු නගරයම චොකලට් කුඩු වලින් වැසී තිබෙනවා දැක ස්විට්සර්ලන්තයේ ඕල්ටන් නුවර වැසියෝ විස්මිත වූහ. අසළ තිබූ චොකලට් කර්මාන්තශාලාවක වායුව පාලනය කරන යන්ත්‍රය අක්‍රීය වී කොකෝවා කුඩු පළාත පුරා විසිරී ගියේය. චොකලට් වලට ඇබ්බැහි වූවන්ට චොකලට් ආවරණය සිහිනයක් ඉෂ්ට වීමක් බඳු විය.

කෙනෙකුගේ පෝෂණ අවශ්‍යතා චොකලට් වලින් සැපිරෙන්නේ නැති වුවද දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ පෝෂණයට ප්‍රමාණවත් වන ස්වර්ගීය වර්ෂාවක් දුන් සේක. ඔවුන් කාන්තාරය හරහා යන විට මිසරයේදී ඔවුන්ට තිබුණු විවිධ ආහාර වර්ග ගැන ඔව්හු මැසිවිලි කීහ. එයට ප්‍රතිචාර වශයෙන් දෙවිියන්වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන්ව පෝෂණය කිරීම සඳහා “ස්වර්ගයෙන් …… ආහාර වස්වන්නෙමි” (නික්මයාම 16:4) කියාය. සෑම උදෑසනකම පිනි වියළී ගිය විට සිහින් ආහාර තට්ටුවක් ඉතිරි විය. එදිනට අවශ්‍ය ආහාර ප්‍රමාණය එකතු කර ගන්න යැයි මිලියන දෙකක් පමණ වන ඉශ්‍රායෙල්වරුන්ට උපදෙස් ලැබුණි. ඔවුන් කාන්තාරයේ ගමන් කළ වසර හතලිහක කාලය තුළ දෙවියන්වහන්සේගේ අධිස්වභාවික මන්නා සැපයුම තුළින් ඔවුන්ට පෝෂණය ලබා දුන් සේක.

“ඒවා කොත්තමල්ලි ඇට සමානය. සුදුය. එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි” (31 පදය) යනුවෙන් දැක්වෙනවාට වඩා යමක් අපි මන්නා ගැන නොදනිමු. මන්නා චොකලට් මෙන් ස්ථිර ආහාරයක් ලෙස ආකර්ශණය නොවූවද දෙවියන්වහන්සේගේ සෙනගට ඇති උන්වහන්සේගේ සැපයුමේ මිහිරිකම ඉන් පැහැදිළි වන්නේය. අපව දිනපතා පෝෂණය කරමින් අපට සදාකාලික ජීවනයක් සහතික කරන (යොහන් 6:51) “ජීවනදායක කෑම” (48 පදය) ලෙසට තමන්වහන්සේව විස්තර කරන යේසුස්වහන්සේ වෙතට මන්නා අපව යොමු කරයි.