ශීතල රස කැවිලි ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරිනිය රූපවාහිනි නාට්‍ය පෙළක “සැඟවී සිටින ප්‍රධානියා” යන චරිතය අයකැමියෙකුගේ නිල ඇඳුමෙන් සැරසී රඟ පෑවාය. එක් වෙළඳ සැළක අලුත් සේවිකාවක් ලෙස ඇය පෙනී සිටිද්දී ඇගේ බොරු කොණ්ඩය සහ වේශ නිරූපණය ඇයගේ අනන්‍යතාවය සැඟවීය. ඇයගේ ඉලක්කය වූයේ ඇත්තෙන්ම අභ්‍යන්තරයේදී සහ පහළදී දේවල් සිදුවන ආකාරය බැලීමය. ඇගේ නිරීක්‍ෂණයන් අනුව ව්‍යාපාරය මුහුණ දුන් සමහර ගැටළු විසඳා ගැනීමට ඇයට හැකි වුනි.

අපගේ ගැටළු විසදීමට යේසුස්වහන්සේ “යටහත් තත්ත්වයක්” ගත් සේක (පිලිප්පි 2:7). උන්වහන්සේ මනුෂ්‍යයෙක් වී පොළොව මත ඇවිද්ද සේක. දෙවියන්වහන්සේ ගැන අපට ඉගැන්වූ සේක. අවසානයේදී අප වෙනුවෙන් කුරුසියක් මත මිය ගිය සේක (8 පදය). උන්වහන්සේ කීකරුකමින් අපගේ පාපයට යාගයක් ලෙස උන්වහන්සේගේ ජීවිතය දීම නිසා මෙම යාගයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ යටහත්කම එළිදැක්වුනි. උන්වහන්සේ මේ පොළොවේ මනුෂ්‍යයෙක් ලෙස ගමන් කර අප අත් විඳි දේවල් බිම් මට්ටමේ සිටම අත්වින්ද සේක.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපගේ ගැළවුම්කරුවාණන්ගේ “ආකල්පය” ගැනීමට අපව කැඳවා ඇත්තේ විශේෂයෙන් අන් ඇදහිලිවතුන් සමග අපගේ සම්බන්ධතාවයන්හිදීය (5 පදය). යටහත්කම පැළඳ ගැනීමටද (3 පදය) ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබුණු සිතම අප තුළත් ඇති කර ගැනීමටද (5 පදය) දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක. උන්වහන්සේ අපව පොලඹවන්නේ අන් අයගේ අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ට උපකාරයේ හස්තය දිගු කිරීමට කැමැති වන ලෙසටය. යටහත්කමින් අන් අයට ප්‍රේම කිරීමටද ඔවුන්ට සේවය කිරීමට සහ ඔවුන් මුහුණ දෙන ගැටළු දයානුකම්පාවෙන් විසඳීමටද හැකි වන හොඳ තත්ත්වයකට දෙවියන්වහන්සේ අපට මග පෙන්වන සේක.