අසාර්ථක ශල්‍යකර්මයකින් පසුව ජොඈන්ගේ වෛද්‍යවරයා කීවේ සති පහකින් නැවතත් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. කාලය ගෙවී යන විට කණස්සල්ල වැඩි වුනි. ජොඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ අතර ඔවුන්ගේ පවුලේ අය ජීවත් වූයේ බොහෝ දුර බැහැරය. ඔවුන් නොදන්නා නගරයකට ගොස් සංකීර්ණ රෝහල් ක්‍රමයක් සොයා ගෙන නව විශේෂඥයෙක් සමග ක්‍රියා කිරීම අවශ්‍ය වූයේය.

මෙම අවස්ථා දරා ගැනීමට නොහැකි බවක් පෙනුනද දෙවියන්වහන්සේ ඔවුන් ගැන සැළකූ සේක. ගමන අතර තුරදී මෝටර් රථයේ සිතියම් ක්‍රමය බිඳ වැටුණු නමුත් ඔවුන් සතුව කඩදාසි සිතියමක් තිබුණු නිසා වෙලාවට එහි යාමට ඔවුන්ට හැකි වුනි. දෙවියන්වහන්සේ ප්‍රඥාව ලබා දුන් සේක. රෝහලේදී කිතුනු සභාපාලක වරයෙක් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර පසුව උපකාර කරන බවද පැවසීය. දෙවියන්වහන්සේ සහයෝගය ලබා දුන් සේක. ශල්‍යකර්මයෙන් පසුව සාර්ථක ශල්‍යකර්මයක ශුභාරංචිය ජොඈන් ලබා ගත්තාය.

අපට සෑම විටම සුවය හෝ ආරක්‍ෂාවේ අත්දැකීම් නොලැබුණද දෙවියන්වහන්සේ විශ්වාසවන්ත වන අතර අවදානමේ සිටින තරුණ මහලු එසේත් නැත්නම් වෙනත් අවාසිදායක තත්ත්වයක සිටින ජනතාවට උන්වහන්සේ ළංව සිටින සේක. සියවස් ගණනාවකට පෙර බබිලෝනියේ විප්‍රවාසය නිසා ඉශ්‍රායෙල්වරුන් දුර්වලව සිටින විට දෙවියන්වහන්සේ උපතේ සිටම ඔවුන්ව ඔසවා ගෙන සිටි බවත් අඛණ්ඩව ඔවුන්ට සළකන බවත් යෙසායා ඔවුන්ට සිහිපත් කළේය. අනාගත වක්තෘ තුළින් දෙවියන්වහන්සේ පැවසුවේ “මහලු වයස දක්වාත් හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි” (යෙසායා 46:4) යනුවෙනි.

අපට උන්වහන්සේව අවශ්‍යම මොහොතක දෙවියන්වහන්සේ අපව අත් නොහරින සේක. උන්වහන්සේට අපගේ අවශ්‍යතා සපුරාලිය හැකි අතර අපගේ ජීවිත වල සෑම අවස්ථාවකදීම අප සමග සිටින බව අපට මතක් කර දෙන සේක. උන්වහන්සේ අපගේ සියලු දවස්වල දෙවියන්වහන්සේය.