අඩි 1400 ක් පළල විශාල කුහරයක් අසල කම්බියක් මතින් හික් වැලන්ඩා ගමන් කරනු 2013 දී එතැනට රැස්වූ ප්‍රේක්‍ෂකයින් 600 දෙනෙක් බලා සිටියහ. වැලන්ඩා අඟල් දෙකක් ඝණකම ඇති වානේ කම්බියට පියවර තබන අතර කැමරාව පහත ඇති මිටියාවත දෙසට යොමුවෙද්දී එම දර්ශනය ගැන ඔහු යේසුස්වහන්සේට ස්තූති කළේය. ඇවිදින මංතීරුවක් හරහා යන්නාක් මෙන් ඔහු කුහරය හරහා ගමන් කළේ යාච්ඤා කරමින් සහ යේසුස්වහන්සේට ප්‍රශංසා කරමිනි. සුළඟ දරුණු වූ විට ඔහු නැමී වකුටු වූයේය. ඔහු නැගිට සමතුලිතතාවය නැවත ලබා ගත්තේ එම කම්බිය නිසල කිරීම ගැන දෙවියන්වහන්සේට ස්තූති කරමිනි. ඒ කම්බිය මත ගත් සෑම පියවරකදීම ක්‍රිස්තුස්වහන්සේගේ බලය කෙරෙහි ඔහුගේ යැපීම ඔහු පෙන්නුම් කළේ එදා සවන් දුන් සියලු දෙනාටත් අද ඒ වීඩියෝව ලොව පුරා බලන සියල්ලන්ටත්ය.

ගලීල මුහුදේදී කුණාටුවක් ඇති කළ රැළි ගෝලයන් පසුකර හමද්දී ඔවුන් උදව් ඉල්ලා කළ මොරගැසීම් මැදින් බිය කාන්දු විය (මාර්ක් 4:35-38). යේසුස්වහන්සේ කුණාටුව සංසිඳවූ විට උන්වහන්සේ සුළංද අන් සියල්ලද පාලනය කරන බව ඔව්හු දැන ගත්හ (39-41 පද). ක්‍රම ක්‍රමයෙන් ඔව්හු උන්වහන්සේ තුළ ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කර ගැනීමට ඉගෙන ගත්හ. ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් යේසුස්වහන්සේගේ ක්‍ෂණික සමීපතාවය සහ අති මහත් පරාක්‍රමය අන් අයට දැන ගැනීමට උපකාර වනු ඇත.

අපි ජීවිතයේ කුණාටු හෝ පීඩා නැමැති ගැඹුරු මිටියාවත් හරහා කම්බි මත ඇවිදීමේ අත්දැකීම් ලබන විට ක්‍රිස්තුස්වහන්සේගේ බලය තුළ ඇදහිල්ලේ ස්ථිරකම අපට ප්‍රදර්ශනය කළ හැකිය. අන් අය උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වීමට පෙළඹවීම සඳහා උන්වහන්සේ අපගේ ඇදහිල්ලේ ගමන උපයෝගී කර ගන්නා සේක.