සභාව අවසානයේ සභාපාලකගේ ආරාධනය නිසා ලැටි්‍රස් ඉදිරියට ගියාය. ඇයට සෙනගට කතාකරන්න යයි ඇරයුම් කළ විට ඇයගේ බැරෑරුම් සහ මනහර වචනවලට කිසිවෙකුත් සුදානම්ව නොසිටියහ. 2021 දෙසැම්බර් මාසයේදී විනාශකාරී සුළි කුණාටුවක් ඇගේ පවුලේ හත් දෙනෙකුගේ ජීවිත බිලි ගෙන තිබුණි. “මට තවමත් සිනහසිය හැක්කේ දෙවියන්වහන්සේ මා සමග නිසාය” කියා ඇය කීවාය. පරීක්‍ෂාවන්ගෙන් පීඩා විඳ සිටියද තමන්ගේම අභියෝග සමග පොර බදන අයට ඇයගේ සාක්‍ෂිය බලවත් දිරිමත් කිරීමක් විය.

ගීතාවලිය 22 හි (යේසුස්වහන්සේගේ දුක් විඳීම පෙන්නුම් කරන) දාවිත්ගේ වචන වන්නේ දෙවියන්වහන්සේ විසින් අත් හරින ලද පහර පිට පහර ලත් තැනැත්තෙකුගේය (1 පදය); අන් අයගේ උසුළු විසුළුවලට ලක් වූවෙකුගේය (6-8 පද); මෘගයන් විසින් වටකරනු ලැබූවෙක්ගේය (12-13 පද); උන්වහන්සේට දුර්වල බව සහ වැහැරී ගිය බව දැණුනි (14-18 පද); නුමුත් උන්වහන්සේ බලාපොරොත්තු රහිත නොවීය. “නුමුත් ස්වාමිනී, ඔබ දුරු නූව මැනවි. මාගේ බලය වන ඔබ මට පිහිට වෙන්ට ඉක්මන් වුව මැනව” (19 පදය). ඔබගේ වත්මන් අරගලය දාවිත්ගේ හෝ ලැටි්‍රස්ගේ මෙන් නුවූවද එය එලෙසම සත්‍යය වේ. 24 වන පදයේ වචනද ඒ ආකාරයෙන්ම අර්ථාන්විතය. “මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළ සේක…… ඔහු හඬ ගැසූ කල උන්වහන්සේ ඇසූ සේක”. අපි දෙවියන්වහන්සේගේ උපකාරයන් අත් දකින විට අන් අයට ඇසෙන පිණිස උන්වහන්සේගේ යහපත්කම අපි ප්‍රකාශ කරමු (22 පදය).