අයර්ලන්තයේ සංචාරයකදී, බහුල ලෙස තිබු අලංකාර ෂැම්රොක් දැක මම අතිශයින් කම්පනයට පත් වීමි. කුඩා කොළ පැහැති, පත්‍ර තුනකින් යුත් ශාකය සෑම වෙළඳසැලකම සෑම දෙයක් මතම එනම්, ඇඳුම් පැළඳුම්, තොප්පි, ස්වර්ණාභරණ සහ තවත් බොහෝ දේ මත පෙනෙන්ට තිබුණි!

අයර්ලන්තය පුරා සශ්‍රීක ශාකයකට වඩා, ෂැම්රොක් ත්‍රිත්වය පැහැදිලි කිරීමේ සරල ක්‍රමයක් ලෙස පරම්පරා ගණනාවක් පුරා වැළඳගෙන ඇත. එය යොදා ගන්නේ දෙවියන්වහන්සේ සදාකාලිකවම වෙනස් පුද්ගලයන් තිදෙනෙකු එනම් දෙවි පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ පවතින එක් තැනැන්වහන්සේ බවට වූ ඓතිහාසික කිතුනු විශ්වාසය පැහැදිලි කිරීමටය. ත්‍රිත්වය පිළිබඳ මනුෂ්‍යයන්ගේ නොයෙකුත් පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නොවන අතර, ෂැම්රොක් නමැති පැළෑටිය ප්‍රයෝජනවත් සංඛේතයක් වන්නේ පැහැදිලිව පෙනෙන පත්‍ර තුනක් සහිත එකම ද්‍රව්‍යයකින් සෑදී ඇති එක් ශාකයක් වන නිසාය.

ත්‍රිත්වය යන වචනය ශුද්ධ ලියවිල්ලේ දක්නට නැති නමුත් එය ත්‍රිත්වයේ පුද්ගලයන් තුන්දෙනා එකවර පෙනී සිටින ඡේදවල අපට පැහැදිලිව පෙනෙන දේවධර්මීය සත්‍යය සාරාංශ කරයි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ බව්තීස්ම වන විට, ආත්මයාණන් වහන්සේ “පරෙවියෙකු මෙන්” ස්වර්ගයෙන් බැස එන බව පෙණුන අතර පියාණන් වහන්සේගේ හඬ “නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය” කියා අසුණේය (මාර්ක් 1:10-11).

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් වූ අයර්ලන්ත වැසියන් ෂැම්රොක් පැළෑටිය භාවිතා කළේ මිනිසුන්ට දෙවියන්වහන්සේව දැනගැනීමට උපකාර කිරීමටයි. අපි ත්‍රිත්වයේ සුන්දරත්වය වඩාත් හොඳින් තේරුම් ගන්නා විට, එය දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීමටද “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” (යොහන් 4:24) උන්වහන්සේට නමස්කාර කිරීමටද ඇති අපගේ හැකියාව ගැඹුරු කරයි.